මේ වන විට අපේ රටේ තරුණ පරපුර සීඝ්රයෙන් අයිස් රකුසා විසින් බිලිගනිමින් සිටිති. වැඩිම තරුණ පිරිසක් අයිස් රකුසාට බිලිවී ඇත්තේ කොළඹය. මුඩුක්කු පරිසරයේ සිට කුරුඳුවත්තේ ප්‍රකෝටිපතියා දක්වාත් කම්කරුවාගේ සිට විධායක ශ්‍රේණියේ නිලධාරියා දක්වාත් අයිස්වලට ගොදුරුවී ඇත්තේ තරාතිරමක් නොමැතිවය.
නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින පොලීසයේ උදවිය පවා මේ වන විට අයිස් ගහන බවද තහවුරු වී අවසන්ය. පෙනෙන්නට ඇත්තේ මාසයකට පොලීසියේ එක් අයෙක් හෝ දෙදෙනෙක් අයිස් ගසා හසුවන බවකි.
මේ තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොව, ක්රමික වර්ධනයක ප්රතිඵලයකි. අයිස් වලට එරෙහිව ක්‍රියාත්මක වීමට පොලීසිය ඉල්ලා සිටි නීතිය පවා තිබුණේ වසර 05ක් තිස්සේ හමස් පෙට්ටිය තුළ දමා සිරකරගෙනය. ඒවා එළියට ඇවිත් පාර්ලිමේන්තුවට දමා නීතියක් බවට පත්කර ගන්නේ වෙන්න තියෙන දේවල් සියල්ලක්ම සිදුවීමෙන් අනතුරුවය.
මෙරට අයිස් ජාවාරම පස්සේ ඉන්නේ පාතාලයට සම්බන්ධ අපරධකරුවන් දෙතුන් දෙනෙක් පමණි. ඒ අය දේශපාලනඥයන් සම මෙන්ම දූෂිත ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. අද අයිස් ජාවාරම මැඩලීමට පොලීසියේ පහළ නිලධාරීන්ට ඉඩක් ලැබී නැත්තේ එබැවිනි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ සටනේ කොළඹ වැඩි බරක් කරට ගෙන කටයුතුකර තිබුණේ දෙමටගොඩ කේන්ද්‍රකරගනිමින් රටටම අයිස් බෙදන අයියා මලේ දෙදෙනෙකු විසිනි. ඒ එක් සහෝදරයෙක් ඉන්නේ මරණීය දණ්ඩනයට යටත්වය. එහෙත් ඔහු ඇතුළේ ඉඳන් හොදටෝම වැඩය.
දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට ඇති තෙමහල් ගොඩනැගිල්ලෙහි ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය ගේ ඡන්ද කාර්යාලයක්ද ස්ථාපිතකර තිබුණි. එම පක්ෂ කාර්යාලය ද අර අයියා මලෝ දෙදෙනා ගේය. මහා මැතිවරණයේදී ද එම පක්ෂ කාර්යාලය එසේම තිබුණේය. එම ගොඩනැගිල්ල ඒ එක් සහෝදරයෙකුට අයත් වූවකි.
පොලීසිය මත්කුඩු අල්ලන බොහෝ අයගේ නම් ගම් කීවත් මේ අයියා මලෝ දෙදෙනාගේ නම් ගම් කිසිදිනක කියන්නේ නැත. අඩුම තරමින් ඔවුන්ගේ ගෝලබාලයෙක්වත් අල්ලන්නේ නැත. ඒ පොලීසියේ ඉහළම ලොක්කෙක් ඒ අය සම ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති නිසාදැයි දන්නේ දන්නෝ පමණි.
වරක් මේ එක් සහෝදරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ හොරොයින් විශාල තොගයක් සමගිනි. සුදු පැහැති ජිප් රථයක නැගුණු එම සහෝදරයා හලාවත තොඩුවාව පැත්තේ සිට හෙරොයින් රැගෙන එන විට අල්ලාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට රැගෙන ආවේය. එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය මහා රෑ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට දිව එන්නේ හති දමමිනි. ඒ පැමිණි ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොත් එහෙට මෙහෙට පරලා කළ ජෝගිය ගැන අදටත් ජීවමාන සාක්ෂි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ වේ. අවසානයේදී පොත් පත් අනුව අල්ලා තිබුණේ හෙරොයින් නොව, කේරල ගංජාය.
එදා පමණක් නොව, සමහර පොලිස් ලොක්කන්ට අදටත් එම සහෝදරයන් දෙපොල ගැන ඇත්තේ දැඩි කැක්කුමකි. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඒ නිසාය. ලොකු මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් එම සහෝදරයන්ගේ දේපොල තහනම් කලා යැයි කීවත් එම දේපොල රාජසන්ක කිරීමට තරම් උනන්දුවක් තාමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පහළ වී නැත. ඒ නිසාම තහනම් කලායැයි කියන දේපොල තාමත් අයියා මලෝ යුවලයේ පවුලේ උදවිය පරිහරණයකරමින් සිටිති.
කොළඹ පොලිස් පොඩ්ඩෝනම් කියන්නේ නින්දෙන් නැගිට්ටාක් මෙන් පොලිස් ලොක්කෝ මේ දවස්වල අයිස් අල්ලන මෙහෙයුම් දියත් කරන්නේ ගෝඪභය රාජාපක්ෂ ජනාධිපතිවරයා පත්වූ අලුත කලාක් මෙන් මාධ්‍ය සංදර්ශනයක් සඳහා පමණි. ඒ ජාවාරම්කරුවන් වෙනුවට අල්ලන්නේ අයිස් බොන අය වන බැවිනි. පසුගිය කාලයේ පාතාලයේ යැයි කියා මාධ්‍යට ඡායාරූප පවා නිකුත් කරමින් කළේත් මේ දේමය.
පොලිස් පොඩ්ඩෝනම් කියන්නේ පොලිසියේ ඉහළ නිලතල කිහිපයක් ශුද්ධ නොකරන්නට අයිස් තබා පාතාලය පවා මර්දනය කළ නොහැකි බවය.
එසේ නොවන්නට වැඩි කල් යන්නට මත්තෙන් සිදුවන්නේ පොලීසිය මත්කුඩු ජාවාරම්කරුවන්ගේ පදේට නටන තැනකට පත්වීමය.







