රට තුළ සිටින ඊශ්‍රයාල ජාතිකයන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට අත් අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාම දේශීය පුද්ගලයින් බවත් ඔවුන් අතර විදේශ ජාතිකයින් නොමැති බවත් මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් පවසයි. ඇමතිවරයා වැඩිදුරටත් කීවේ මේ පුද්ගලයින් අන්තවාදී කල්ලි සමග සම්බන්ධයක් ඇතැයි තවම හෙළි වී නැති බවය.
මේ පුද්ගලයින් පිළිබඳ දීර්ඝ පරීක්ෂණ පවත්වාගෙන ගොස් ඒ ලැබෙන තොරතුරු මත නිගමනවලට එළඹෙන බව කී ඇමතිවරයා ලැබී ඇත්තේ තොරතුරක් පමණක් බවත්, මේ ලද තොරතුර පිළිබඳ සත්‍යාපනය කරගැනීමටත් තව දින කීපයක් ගතවනු ඇති බවත් පැවසුවේය.
ඉතාම විධිමත්ව විමර්ශන කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා මේ අවස්ථාවේ දී විමර්ශනයට බාධා ඇතිවන ආකාරයෙන් සැකකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කිරීිම රජය විසින් සිදුනොකරන බවත් අවධාරණය කළේය.
ඇමතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරනු ලැබුවේ ඊශ්‍රයාල ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි යන උපකල්පනය මැදපෙරදි යුද්ධය ඇවිලී යනවිට විදේශීය බුද්ධි අංශ වෙත තිබුණු බවය. ඒ පදනම් කරගෙන යම් අවදානමක් සම්බන්ධව ලෝකයේ බොහෝ රටවල් සේම විදේශීය බුද්ධි අංශ ශ්‍රී ලංකාවත් දැනුම්ව කළ බවය. මේ මුල්ම තොරතුරු ලැබෙන්නේ පසුගිය රජයට බවත් ඒ ඔස්සේ රටක් ලෙස එම රජය ද විමර්ශන කටයුතු පවත්වාගෙන පැමිණි බවත් ඇමතිවරයා කීවේය.
ඒ තොරතුර යළිත් නිශ්චිත බුද්ධි තොරතුක් ලෙස විදෙස් බුද්ධි අංශවලින් ලැබෙන්නේ මේ මාසයේ මුල් සතියේ බව ඇමතිවරයා හෙළි කළේය. මේ ඇත්ත ස්ඵර්ෂ නොකර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශ නොකළ, පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ නොකළ සමහර ව්‍යාජ කාරණා මාධ්‍යවල පලවී ඇති බව කී ඇමතිවරයා මුල්ම තොරතුර ලැබෙන්නේ ඉන්දීය බුද්ධි අංශවලින් නොවන බවත්, අත් අඩංගුවට පත් සැකකරුවන් වෙත ලබා දී ඇතැයි කියන මුදල් පිලිබඳ කතාව සම්පූර්ණයෙන්ම වැරදිසහගත බවත් වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසත් මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ජාත්‍යාන්තරව ලැබෙන මෙම තොරතුර ගැන ඇමරිකානු තානාපති කාර්යාලයත් දැනුම්වත්ව සිටි බවත් ඔවුන් ද තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් ද සමග ලැබෙන තොරතුර සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් ඇති කර තිබූ බව ද ඇමරිකානු තානාපති කාර්යාලය ස්වකීය වැසියන්ට අරුගම්බේ වෙත ගමන් කිරීමෙන් වලකින ලෙස කළ ආරක්ෂක අවවාදය නිකුත් කරන්නේත් රජයට කළ දැනුම් දීමකින් පසුව බවද ඇමතිවරයා පැහැදිලි කළේය.
මේ වනවිට ඉරාණ ජාතියකින් 575ක් ලංකාව තුළ සිටින බව ප්‍රකාශකළ ඇමතිවරයා තානාපති කාර්යාල ඉතාම අවබෝධයෙන් රජය සමග කටයුතු කළ බවත්, පසුගිය කාලය පුරාම රජය සමග මේ පිළිබඳ සාකච්ඡාවක සිටි ඇමරිකානු තානාපති කාර්යාලය සිය වැසියන්ට අරුගම්බේ ඉලක්ක කරගෙන ආරක්ෂක උපදෙස් නිකුත් කළේ රජය සමග සාකච්ඡාවකින් අනතුරුව බවත් හෙළි කළේය. වගකිම් සහගත වන ලෙස ඔහු මාධ්‍යවලින් සහ දේශපාලකයින්ගෙන් යළිත් ඉල්ලා සිටියේය.







