සූරියවැව නුවන් ජයසේකර –
සජිත් ප්‍රේමදාසට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන බවට චෝදනා ලැබ සිටින ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මැතිවරණ කොමිසම විසින් තමන්ගේ මානව හිමිකම් කඩ කරන බවට චෝදනා කරමින් අද (17) දහවල් 1.30ට පමණ තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මෙලෙස තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ල ගොනු කර දික්වැල්ල,කෝට්ටගොඩ,සාගර ලිපිනයේ පදිංචි මරක්කල මානගේ ප්‍රේමසිරි මුලින්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනඥයෙක් ලෙසත් අනතුරුව පොදු පෙරමුණට සම්බන්ධ දේශපාලකයෙක් ලෙසත් කටයුතු කරමින් සිට මෙවර ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනය කරන ආකාරයට සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කළ බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබුණ බව වාර්තා වී තිබිණි.
කෙසේ වෙතත් ප්‍රේමසිරි මානගේ පවසන්නේ මැතිවරණ කොමිසම විසින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් තමන් පසුපස හඹා එන බවය. ඔහු පැමිණිල්ල ගොනු කරමින් කියන්නේ අද (17) දින තමන් පන්නෙගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වු අතර, එහිදි එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් හමුවූ බවය. එම පිරිස වචන කිහිපයක් කතාකර යන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බැවින් එය ප්‍රථික්ෂේප කළ නොහැකි නිසා තමන් ඔවුන් හමු වි මද වේලාවක් කතාකර එම ස්ථානයෙන් පිටව ගිය බව ඔහු පැමිණිල්ලේ සඳහසන් කර ඇත.
එමෙන්ම තමන් එම ස්ථානයෙන් පිටව ගිය පසු එම ස්ථානයට පැමිණ ඇති හම්බන්තොට මැතිවරණ කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තමා අපරාධකරුවෙක් ලෙස හැඟවෙන පරදි තමා පිළිබදව විමසා ඇතැයි ද ඉන් තම කීර්ති නාමයට බලවත් හානියක් සිදුකර ඇති බැවින් එය මානව හිමිකම් උල්ලංගණය කිරිමක් යැයි ද ප්‍රේමසිරි මානගේ සිය පැමිණිල්ලේ වැඩි දුරටත් දක්වා තිබේ.
මැතිවරණ නිළධාරීන් පැමිණ එළෙස ප්‍රශ්න කිරීම හමුවේ එම අවස්ථාවේ එහි සිටි ජනතාවද භීතියට පත්ව ඇති බව ඔහු පවසයි.
තවත් අයෙකු මේ අයුරින් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීමට මැතිවරණ නිළධාරීන්ට කිසිදු අයිතියක් නොමැති කියන මානගේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තමන්ට තවත් කෙනෙකුගේ මනාපයක් ඉල්ලා සිටීමේ අයිතියක් ඇති පැමිණිල්ලෙන් අවධාරණය කරයි.
ජනාධිපති ධූර අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා මේ ආකාරයෙන් තමාගේ පස්සෙන් පැන්නීම නතර කර දෙන ලෙසත් මෙම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකදි පැවසුවේ පැමිණිල්ලක් සිදුකල බව කියන අපේක්ෂකයා දිගින් දිගටම මැතිවරණ ආචාර ධර්ම කඩකිරිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයකට අදාලව ඔහු හමුවට ගිය නමුත් ඔහු හමුවිය නොහැකි වු බවය.
පැමිණිල්ලට අනුව කටයුතු කිරීමෙන් පුද්ගලයෙකුට කිසිදු අපහාසයක් හෝ ඔහුගේ මානව හිමිකම් කඩ කිරිමක් සිදු නොවන බව හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.







