අපේ අත්තම්මා හරිම අපුරු කතා කාරියකි. මං පුංචි සන්දියේ දී උන්දෑ මෙහෙම කතාවක් මට කියා දුන්නාය.
දුර්වාසස් නමැති සෘෂිවරයා ගේ ශාපයක් නිසා ඉන්ද්‍ර දෙවියෝ දුබල වූහ. ඔහු අසුරයනට එරෙහිව කළ සටනේ දී පරාජයට පත් විය. කරගත දෙයක් නුහුණු තැන සුරසේනා පිරිවැරෑ ඉන්ද්‍ර තෙමේ විෂ්ණු දෙවියන් වෙත ගොස් පිහිටක් අයැද සිටියේය.
එවිට විෂ්ණු දෙවියන් මෙවන් උපදෙසක් දුන්හ. “අමරණීය වීම සඳහා කිරි සයුර කළඹා අමෘතය ගෙන පානය කළ යුතුය. “ එම උපදෙස් ප්‍රකාරව කිරි සයුර කැළඹීමෙන් ලැබෙන මහා අනර්ඝ වස්තු බෙදා ගැනීමේ එකඟතාවය මත එකිනෙකාට සතුරු වූ මුත් සුරයෝත් අසුරයෝත් එකතු වූහ.
මහා මේරු පර්වතය වාසුකී නම් නාග රාජයාගේ සිරුරෙහි ඔතා මන්තයක් සකසාගෙන් සුර අසුර සන්ධානය කිරි මුහුද කැළඹූහ. ඉතින් මහා අනර්ඝ වස්තු 14ක් ද සමග අමෘතය පහළ විය. සුරයෝ අමෘතය සොරකම් කළහ. එහිදී පහළවුන ලක්ෂ්මී විෂ්ණු දේවයන් තමන්ගේ අඹුව කරගත්හ. ඉතිරි අනර්ඝ වස්තු සුර අසුර සන්ධානය අතර බෙදිනි.
අපේ රටේත් එහෙමය. සුරයෝත් අසුරයෝත් එකතුව කිරි මුහුද ලඹන්නෝය. එසේ කළඹන විට ලැබෙන සම්පත් බෙදා ගන්නෝය. එය වෙනම කතාවකි. මේ කිරි මුහුද කැළඹීමේ කතාව එකපාරටම සිහියට ආවේ ඔය වඳුරු කුණුහරප ගැන කියන්නට නොවේ. සුර අසුර සන්ධානයක නායකයා වූ ජනාධිපතිතුමා පහල කරගත් මහා අනර්ඝ සම්පතක් ගැන කියන්නට කිරිමුහද කැළඹීමේ කතාව හැර වෙනත් උපමාවක් සොයා ගන්නට නොහැකි වුන නිසාය.
බොහෝ ගැඹුරු කැළඹීමකින් පසු අපේ ගෞරවණීය ජනාධිපතිවරයා අද (29) උදේ මහත් වූ සම්පතක් පහළ කර ගෙන ඇත්තේය. මේ සටහන තබන්නේ ඒ උත්කර්ෂවත් සොයා ගැනීම පිළිබඳ තුටු පහටුව හත් දා මගුල් කන මේ රටේ බහුතර හුදී යන්යන්ගෙන් එකෙක් හැටියටය.
මේ දූෂිත රටේ පොලිස්පතිකම දෙන්නට නිකැළැල් චරිතයක් ජනාධිපතිවරයා සෙව්වේ සෑහෙන කාලයක සිටය. නිකැලැල් චරිතය සොයා ගන්නට ගරු ජනාධිපති තුමා දැරූ අප්‍රමාණ වෙහෙස සම්බන්ධව ඇත්ත වශයෙන්ම එතුමාට ජාතියේ ගෞරවය හිමි වන්නේය. හිටපු පොලිස්පතිවරයාට මාස තුන බැගින් සේවා දිගු දෙකක් ලබා දී අනතුරුව සති තුනේ රීලෝඩ් තුනක් ලබා දුන්නේය.
ඒ නිකැළැල් පොලිස්පති සොයා ගන්න තුරුය. හිටපු පොලිස්පතිවරයාත් රීලෝඩ් කාරයෙක් කර කුජීත වීමෙන් පසු යන්තම් ජනාධිපතිවරයා විසින් නිකැලැල් පොලිස්පතිවරයා සොයා ගත්තේය.
ඒ දේශබන්දු තෙන්නකෝන් මැතිඳුන්ය.
මෙතුමා සොයා ගැනීමට මුළු පොලිසියම පීරන්නට වූ ආකාරය මේ රට දැක්කේය. පොලිස්පති කම ලැබෙනු ඇතැයි වූ චකිතය නිසා කවදාවත් තනතුරු වරදාන හෝ වරප්‍රසාද වෙනුවෙන් ස්වකීය ප්‍රතිපත්ති පාවා නුදුන් මේ නිකැලැල් මිනිසා සිටියේ කාටවත් නොපෙනෙන සේ සැඟවීය.
කවදා හෝ ඔහුට පොලිස්පතිකම ලැබෙනු ඇතැයි ඇතියි යන හැඟීමෙන් උපන් පිළිකුළ නිසා එතුමා බොහෝ පරිස්සමින් කටයුතු කළේය. එතුමා කවදාවත් සමාජය ඉදිරියට ගොස් කැපී පෙනෙන තුට්ටු දෙකේ ෂෝ දැම්මේ නැත. නීතිය අකුරටම කළේය. පොලිස්පතිකම බලාගෙන ඇතැමි කෂඩයින් දේශපාලකයින් ඉදිරියේ වැඳවැටෙද්දී කිසිම දේශපාලඥයෙක් ලඟ වැද වැටෙන්නට නොගිහින් සිය කශේරුව කෙලින් තබා ගත්තේය.
එවැනි විශිෂ්ටයෙක් සොයා ගැනීම ලේසි නැත. අන්තිමට ජනාධිපතිවරයා ඔහුව සොයාගෙන වැඩ බැලීමට හෝ පොලිස්පති කම ලබා ගන්නට ආයාචනා කළේය.
රටේ විධායක ජනාධිපතිවරයා කළ ඉල්ලීම අහක දමන්නට බැරි තැන දේශබන්දු තෙන්නකෝන් මැතිඳුන් මාස තුනක් සඳහා පොලිස්පතිකමේ වැඩ භාරගෙන ඇත.
ඒ ඔබට කීවේ මේ කතාවේ කිසිවෙක් නොදන්නා ඇතුළු පැත්තය. ඇත්තටම මේ රට නිවැරදි මාවතට රැගෙන යෑම සඳහා ජනාධිපතිවරයා අප්‍රමාණ වෙහෙසක් දරන්නේය. එතුමා අද පවසා තිබුණේ හැමදාම බංකොලොත් භාවයේ නොසිට දියුණු වෙන්න නම් රැඩිකල් වෙනසක් මේ රටට අවශ්‍ය බවය.
දෙයියම්පා ඇත්තය. එතුමා දැන් ඒ අප්‍රමාණ වෙනස සිදුකරමින් යන්නේය. දේශබන්දු තෙන්නකෝන නව පොලිස්පතිවරයා පත්වීම ඒ රැඩිකල් ගමනේ යෝධ පියවරකි. එක එක ගෝතයන් බලු කතා කීවාට ගරු ජනාධිපති තුමා එවා නියපොත්තෙන් උඩට ගණන් ගත යුතු නැත. එතුමා මේ රැඩිකල් පාරේම යා යුතුය.
එවගේම පට්ට හොරෙක් වූ රොෂාන් රණසිංහට පුකට පයින් ගසා එළවපු විදිහ මේ රටේ සියලුම දෙනා බලා සිටියේ මහා ආශ්වාදයකිනි. එවැනි රැඩිකල් තීන්දු රටක නායකයෙකු ගේ වගකීමකි.
පහුගිය කාලය පුරාම රොෂාන් රණසිංහ ගේම ඉල්ලුවේ මේ රට නොව ලෝකයම පිළිගන්නා ෂම්මි සිල්වා වැනි මනුස්සයෙකුගෙනි. ෂම්මිට අයි.සී.සී. එකේ තියන සම්බන්ධකම් මත එක වචනයකින් ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න තිබිණි. එහෙත් ඒ වැදගත් මහත්මයා තමන්ගේ ඇති වැදගත්මට ඒ ආකරයේ තීන්දුවක් ගත්තේ නැත.
රටට රැඩිකල් වෙනසක් කිරීමට අවශ්‍ය වන්නේ එවැනි කලාතුරකින් හමුවන වැදගත් මිනිසුන් මිස රොෂාන් රණසිංහ වැනි ගොබ්බයින් නොවේ.
ගරු ජනාධිපති තුමාගේ මේ කළමනාකරණ පරිචය සම්බන්ධව උඹලාට කොහොම වෙත්ත මේ ලියන මට නම් මහා ආඩම්බරයක් උපදවන්නේය. එසේ කියන්නේ තර්කයක් මත පිහිටාය. දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට පොඩි කාලයකට හෝ පොලිස්පතිකම නොලැබුනා නම් ටිරාන් අලස් මැතිතුමා මහජන ආරක්ෂක ඇමතිකමින් අස් වෙන්නටත් ඉඩ තිබිණි. එසේ සිදුවුනා නම් රට මහා අනතුරකට වැටෙන්නේය
එතුමාට අස්වීමට ඉඩ නොදී දේශබන්දු මැතිතුමාට එපා කියද්දී පොලිස්පතිකම දෙන්නට ජනාධිපතිතුමා කළ තීන්දුව තවත් පැත්තකින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ වෙනසක් සඳහාවන රැඩිකල් නැඹුරවය. රොෂාන් රණසිංහ පන්නා දමා ෂම්මි සිල්වා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකමේ ස්ථාවර කිරිමට කටයුතු කිරීම ඒ රැඩිකල් දිගුවේ එක් පැහැදිලි අන්තයක් රූපණය කරන්නේය.
රැඩිකල් නම් රැඩිකයල්. වංගු නැත. රැඩිකල් වෙනස්කම් නම් මේවාය. මේ වෙනස්කම් කිරිමේ දී වෙලේ සුදා, හරක්කටා වැනි පුද්ගලයින්ගෙන් පවා මේ රටට ගත හැකි යහපත් ප්‍රයෝජන ගැන කල්පනා කළ යුතු බවට මේ රටේ බොහෝ දෙනෙක් කල්පනා කරති. ඒ හැරුණු විට කන්න ටිකක් බඩට නැති මේ රටේ තුට්ටු දෙකේ හිඟන්නන් කියන දේවල් අහන්නම අවශ්‍ය නැත. එසේ අසනවා නම් විධායක ජනාධිපති තනතුර ඕනෑ නැත.
කොටින්ම ඔබතුමා මේ කටයුතු කරගෙන යන අභීත ආකාරය ගැන අපට ඇත්තේ මහා මෙව්වා එකකි. රට ස්ථාවර වෙනවා කියන්නේ පට්ටයටම වෙනවාය. කිරි ටික ඉතිරෙන්න ඔන්න මෙන්නය. ඒ නිසා කිරි ටික ඉතිරෙනකම් පරිස්සමින් ඉන්න.
ඉතින් ගරු ජනාධිපති තුමනි. විශේෂයෙන් මේ දවස්වල පරිස්සමින් එළියට බහින්න. බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන අවපීඩන තත්ත්වය නිසා හරියට අකුණු ගහන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදත් කීවේය.
මොකද සොබා දහම අපි තරම් ඉවසන්නේ නැති නිසාය.