දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මගීන් හා කාර්ය මණ්ඩලයේ 95 දෙනෙකු රැගෙන පැමිණෙමින් තිබූ ශිවගංගී නෞකාව මුහුද මැදදී පෙරළී යාමේ තර්ජනයකට මුහුණ පෑමත් සමගම 4 දා සිට එම නැව් සේවාව තාවකාලිකව නවතා දමා තිබේ.
නෞකාව නාගපට්ටිනම් සිට සැතපුම් 15 ක් ශ්‍රී ලංකාව දෙසට පැමිණි පසුව මුහුදේ රලු ස්වභාවය නිසා නැව පැද්දීමකට ලක් වී පෙරළී යාමට ගිය අවස්ථාවේදී මගීන් බියට පත්ව කෑ කෝ ගසමින් අදුම් ගලවා ඒවා වනමින් සෙසු යාත්‍රා වලින් ආධාර උපකාරද ඉල්ලා තිබේ.
මේ අවස්ථාවේදී වෙනත් බෝට්ටු හතරක්ම මෙම නැවේ සහයට පැමිණීමෙන් පසුව නැව ආපසු හරවා ගෙන නාගපට්ටිනම් වෙත යාත්‍රා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ.
මේ අවස්ථාවේදී නැව තුළ මගීන් 78 ක් හා කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සිට ඇති අතර කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සුලු තුවාල ලැබීමක්ද සිදුව තිබේ.
මේ කාල වකවානුවේ එම මුහුදු කලාපයේ පවතින දැඩි රලු ස්වභාවය නිසා නැව් සේවාව තාවකාලිකව නවතා දමා තිබී පසුගිය මාර්තු මස 1 දා සිට යළි ආරම්භ කරණු ලැබීය.
ශිව ගංගී නැව මෙම අවදානමට ලක් වූයේ කලමනාකාරිත්වයේ දුර්වලක කීපයක් නිසා බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණි.







