-
රිය අනතුරු වැළැක්වීමේ ජාතික වැඩසටහන් ගණනක ක්‍රියාශීලී වුනා… සන්නාම තානාපති ධූරය දැරුවා… හැමදේම කළේ ස්වේච්ඡාවෙන්… ඒ මේ රටට ආදරය නිසා… ඒත් අපි කියපු එක දෙයක්වත් ඇහුවෙ නෑ…
-
මේ නොසැලකීම නිසා රිය අනතුරු වළක්වන්න බලතල සහිත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන්න යෝජනා කළා. ඒ යෝජනාව ගෙනාවේ දළ වශයෙන් ජාතික ධනය බිලියන 760ක් රිය අනතුරු නිසා විනාශ වෙන නිසා… ඒක කිසිම කෙනෙක් තැකීමක් කළේ නෑ…
-
මීට මාස දෙකකට කලින් රට මළගමක් වුනා… ඒකම යළිත් සිද්ධ වෙලා… මේ වෙලාවෙවත් ජනාධිපති තුමනි… අපි කියන දේට ඇහුම්කන් දෙන්න… මාලගමුව සංවේදීව කතා කරයි….
අවුරුදු ගණනක් තිස්සේ මේ රටේ රිය අනතුරු වැළැක්විය හැකි ආකාරය පිලිබඳ විද්‍යාත්මක පදනමක සිට සෑම රජයකටම යෝජනා ඉදිරිපත්කළත් කිසිවෙක් ඒ සම්බන්ධව නිසි බරින් ඇහුම්කන් නුදුන් බවත් ඇසූ ඇසූවන් කම්පාකරමින් ආසන්න කාලයක් තුළ දෙවැනි බිහිසුණුම බස් අනතුර සිදුවී රටම මළගෙයක් වූ මොහොතේ නැවතත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ විෂය ප්‍රමාණික පුද්ගලයින්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඉහළම මට්ටමින් මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන ලෙසත් යැයි අන්තර්ජාතික කීර්තියට පත් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසයි.
ඔහු ජනාධිපතිවරයාට දන්වා සිටින්නේ රටේ වෙනසක් කිරීමට පැමිණි රජයක ප්‍රධානියාට මේ ප්‍රශ්නය මගහැර පියමං කළ නොහැකි බවය. තමන් ඇතුළු වෘත්තීය කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වූ වැඩපිළිවෙළක වසර ගණනක් තිස්සේ වැඩ කරන්නේ මේ රටටත්, මේ රටේ නිරපරාදේ මිය යන මිනිසුන්ගේ ජීවිතවලටත් ආදරය කරන නිසා බව ජනාධිපතිවරයාට දන්වන ඩිලන්ත මාලගමුව වෘත්තීය කණ්ඩායම් කොපමණ දේ විද්‍යාත්මකව පෙන්වා දුන්නත් රජයක් ලෙස එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවන්නේ නම් මේ මහා විනාශය මේ අයුරින්ම හෙටත් සිදුවන බවය.
ඩිලන්ත මාලගමුව මේ රජය විසින් ද අත්හැර දැමූ තැන් සිහි කරමින් ජනාධිපතිවරයාව අමතන්නේ මේ රජය පත් කිරීම වෙනුවෙන් විශාල මහජන මතවාදයක් ගොඩනැගූ ජනමත නායකයෙක් වශයෙන් වීම ද විශේෂය.
ඔහු කියන්නේ මෙවැන්නකි.
” වත්මන් රජය ඇතුළු හැම රජයකටම අපි මේ කතාව කියලා තියනවා. ලංකාවේ තියන මිනිසා විසින් ඇතිකරන ලොකුම ඛේදවාචකය තමයි රිය අනතුරු. ලෝක බැංකු වාර්තා අනුව රටේ දල ජාතික නිශ්පාදනයෙන් සියයට 4ක් විතරය වියදම් වෙන්නේ රිය අනතුරුවලට. ඒ කියන්නෙ රුපියල් බිලියන 730ක්. මේක නිරපරාද වියදමක්. ඒ වගේම මේ මිය යන්නේ ආබාධිත වෙන්නේ රටේ ශ්‍රම බලකාය. ඉන් ආර්ථිකයට සිද්ධ වෙන වියදම මේ වනතුරු ගණනය කරලා නෑ.
මේ ගැන අවංකවම මැදිහත් වෙනවා නම් ජනාධිපතිතුමා යටතේ රිය අනතුරු වැළැක්වීම සම්බන්ධව ජනාධිපති කාර්යා සාධන බලකායක් පිහිටුවිය යුතුයි. ඊට ප්‍රශ්නයට මැදිහත්වීම සඳහා බලතල තිබිය යුතුයි. රටට ආදරය කරන අවංක විෂය ප්‍රාමාණිකයින්ගෙන් ඒ කමිටුව සමන්විත විය යුතුයි. එවැනි විද්වත් පිරිස් අපේ රටේ ඉන්නවා.
මම, ජාතික වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීමේ කමිටුවේ සන්නාම තානාපති හැටියට අවුරුදු හය හතක්ම කටයුතු කළා. බස්නාහිර ආණ්ඩුකාරතුමා යටතේ රිය අනතුරු වැළැක්වීමේ කාර්ය සාධක බලකායක් හදලා තියනවා. ඒකේ මම මාධ්‍ය ප්‍රකාශක සහ සන්නාම තානාපති ලෙසත් කටයුතු කරනවා. මං වගේම ගොඩාක් අය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. රටට තියන ආදරයට තමයි මිනිස්සුන්ට මේ ඇවිල්ලා තිබෙන්නේ.
මේ අනතුරු වැලැක්විය හැක්කේ කොහොමද කියන එක අපි හැම රජයකටම කියලා දීලා තියනවා. මේ රටේ නීතිය තද වෙන්න ඕන මීට වඩා. මේ රටේ විනය සම්පූර්ණයෙන්ම පිරිහිලා තියෙන්නේ. රියදුරන් ගැන මේ අවිනිතකම විශේෂයි. අපි උනත් පාරට බැස්සම හිත කළකිරෙනවා. බස් රියදුරන් ගැන කියන්න දෙයක් නෑ. ගොඩාක් අය මත්ද්‍රව්‍ය පානය කරනවා. මේක සම්බන්ධව විධිමත් පර්යේෂන කරන්න අපිට පුලුවන්. ඒ තත්ත්වයන් ගැන කියලා යෝජනා ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් රජය තමයි පියවර ගත යුත්තේ.
මීට කලින් අපි එක දිගටම කිව්වා මගී ප්‍රවාහනයේ දී රියදුරන් හරියට පුහුණු කරන්න ඕන විදිහ, ඔවුන් අධීක්ෂණය කරන්න ඕන ආකාරය, මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ඒ කටයුත්තට සුදුසුද නැද්ද කියලා අධීක්ෂණය කළ යුතු විදිහ. මේ සියලු දේ සහිත සමස්ථය ගැන අපි අවුරුදු හය හතක් තිස්සේ කියනවා. වැඩක් වුනේ නෑ.
මේ අනතුර අරන් බලන්න. කඳු ප්‍රදේශවල ඉඳන් එනකොට බ්‍රේක් එකටම කකුල තියාගෙන ආවොත් ටික වෙලාවක් යනකොට බ්‍රේක් නැතිව යනවා. එන්ජින් බ්‍රේකින් වලින් වාහනය පාලනය කරගන්න ඕන. මේකට පුහුණුවක් පළපුරුද්දක් අවශ්‍යයයි. අන්න ඒ පුහුණුව පළපුරුද්ද නැති නිසා තමයි මේ විදිහේ අනතුරු වෙන්නේ. අපි හැමදාම කියනවා අවුරුදු ගානක් පළපුරුද්ද තියන අයට පමණක් මගී ප්‍රවාහනයට ඉඩ දෙන්න කියලා. අහන්න කෙනෙක් හිටියේ නෑ… මේ කරුණු කියන්න ගියොත් ඉවරයක් නෑ.
ඇත්තට ගරු ජනාධිපති තුමනි. ඔබතුමා ඇවිත් ඉන්නේ රට හදන්නනම් මේ ජාතික ව්‍යසනයට නවත්වන්න අවංකවම මැදිහත් වෙන්න. නැවත වරක් ඉල්ලන්නේ. ජනාධිපති කාර්ය සාධක බලකායක් හදන්න. මෙච්චර කාලයක් හැම රජයකටම කියාගෙන එන වෙන්න ඕන දේ තේරුම් අරන් මේ ප්‍රශ්නයට තීරණාත්මකව මැදිහත් වෙලා විසඳුමක් දෙන්න.







