හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ සමීපතමයෙකු වන මේජර් නිශ්ශංක සේනාධිපතිට පසුගි රජය විසින් ආයුධ තොග වශයෙන් ලබා දී ඇති බව අනාවරණය වේ. මෙම අවි හැකි ඉක්මනින් ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇති බව ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තා කර ඇත.
හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන යෝෂිත රාජපක්ෂ විසින් මිලිමීටර් 9 පිස්තෝල 6ක් ඇතුළු ගිනි අවි 7ක් රැගෙන ගොස් ඇති අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මිලිමීටර් 9 පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ලෙස ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන තිබේ. මේ අතර ඇවන්ගාඩ් නැමැති සමුද්‍ර ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන නිශ්ශංක සේනාධිපතිට පිස්තෝල 7ක් (මි.මී. 9) සහ බෝර රිපීටර් 2ක් ලෙස ආයුධ 09ක් ලබා දී ඇතැයිඑම පුවත්පත සඳහන් කරයි.
තනතුර අතහැර පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500 කට ආයුධ 1,690 ක් නිකුත් කළේය. මෙම සියලු පුද්ගලයින්ට නොවැම්බර් 7 වනදා වන විට ආයුධ ආපසු ලබා දෙන ලෙස දන්වා ඇති අතර, ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.









