මනම්පිටිය නිමල් ජයරත්න –
ටිපර් රථ සඳහා වැලි පැටවීමේදී මනම්පිටිය තම ලොරි සඳහා පමණක් වැලි තට්ටු මට්ටම් දක්වා පැටවීමේ නීතිය සෙසු ප්‍රදේශ වලටත් ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින්, පොළොන්නරුව මනම්පිටිය වැලි ටිපර් රථ රියදුරන් හා ටිපර් හිමිකරුවන් 11 වෙනිදා, වැලි පැටවීමෙන් ඉවත් වී මනම්පිටිය වැලි සමාගම අසල විරෝධතාවයක නිරත වූහ.

භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශයට අනුබද්ධිත මනම්පිටිය වැලි සමාගමෙන් ටිපර් රථ හිමිකරුවන් හාරසියයකට වැඩි ප්‍රමාණයක් වැලි පටවා දෛනිකව දිවයිනේ විවිධ ප්‍රදේශවලට වැලි ප්‍රවාහනය කරති.
පසුගිය ජූලි 29 වෙනිදා ලොරියේ ධාරිතාවය ඉක්මවමින් වැලි පැටවීම තහනම් කරන ලෙසට භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට ලිඛිතව දන්වා ඇතත් එම නීතිය මනම්පිටියට පමණක් ක්‍රියාත්මකවන බවද විරෝධතාවයට එක් වූ රියදුරන් සඳහන් කළහ.

දිවයිනටම බලපාන අයුරින් එම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට, සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා සිටියද මනම්පිටිය ටිපර් වලට පමණක් වැලි පැටවීමේදී එම නීතිය ක්‍රියාත්මක කිරිම පුදුමයට කරුණක් බවත්, මේ වනවිට කන්තලේ, මහියංගණය, මඩකලපුව, වැලිකන්ද, වැනි ප්‍රදේශවලින් ලොරි රථ වලට ධාරිතාවය ඉක්මවා වැලි පටවා ප්‍රවාහනය කරන බවත් විරෝධතාකරුවන් පෙන්වා දුන්හ.
එම නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් , එසේ නොමැති වුවහොත් මනම්පිටිය වැලි සමාගමෙන් වැලි පටවා ප්‍රවාහනය කිරීමෙන් සම්පූර්ණයෙන් තම සංගමය ඉවත්වන බවත් වැලිටිපර් රථ හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් ගමගේ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේය.
මෙම විරෝධතාවය සඳහා මනම්පිටිය වැලි ටිපර් රථ හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්, පිපර් රථ හිමිකරුවන්, සහායකයින් ඇතුළු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් පැමිණ, වැලි ටිපර් රථ හිමිකරුවන් සාකච්ඡාවකට, කැඳවියවත් සමග විරෝධතාවය තාවකාලිකව අවසන් විය.







