බේරේ වැවේ සතුන් මිය යමින් ඇත්තේ කුරුළු උණ රෝගයෙන් නොවන බව තහවුරු වී ඇතැයි කොළඹ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කරයි.
කොළඹ මහ නගර සභාව යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව ද කොළඹ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී වරයා පෙන්වා දී ඇත.
“මියගිය සතුන් 25ක සිරුරු තිබුණා. ඒකෙනුත් අපි 7ක් හෝමාගම පශු විමර්ශන ඒකකයට යොමුකළා. එහිදී තහවුරු වෙලා තියෙනවා කුරුළු උණ රෝගය නැති බවට.”
“මේ වනවිට අපි පේරාදෙණිය පශු විමර්ශන ඒකකටත් දැනුම්දීලා තියෙන්නේ. ඒ අය සඳුදා වෙනකොට සියළුම සාම්පල් අපට යවන්න කියලා තියෙනවා.
දැන් අපට හේතුව නිශ්ඡිත වශයෙන්ම තහවුරු කරන්න බෑ. රසායනාගාර පරීක්ෂණ සියල්ල අවසන් වූ පසුව ලැබෙන තීරණ අනුව සතුන් මියයන හේතුව හොයාගන්න පුළුවන්”.
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනයේ පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර පවසා ඇත.







