අසාධ්‍ය තත්ත්වයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝගී තත්ත්වය යහපත් අතට හැරී සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කිරීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබේ.
අද උදෑසන සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් අනතුරුව ඔහු රෝහලෙන් පිටවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් බැහැරව ගියත් දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය.
නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබති.
ජාතික රෝහල පැවසුවේ කුමක් ද?
කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ (NICU) ප්‍රතිකාර ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයෙන් ඉවත් කර ස්නායු ඒකකයේ වෙනම කාමරයක අද උදේ වරුවේ රඳවා තබා තිබිණි.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහුගේ සෞඛ්‍ය තත්තවය යම්තාක් දුරකට යපහත් වෙමින් පවතින නමුත් රුධිර පීඩනයේ වෙනස් වීම් නිතර සිදුවෙන බවය. හෘදයට රුධිරය සපනයන නාල තුනක් අවහිරවී තිබීමට බරපතල තත්තවයක් බැවින් තව දුරටත් ඖෂධ ප්‍රතිකාර ලබා දීම සිදුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කිවේය.
කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාට හදවත් සැත්කමක් කිරිමට හෝ ස්ටෙන්ත් දැමීමට ඔහුගේ වයස සහ පවතින නිදන්ගත රෝග හේතුවෙන් තවදුරටත් සිතිය යුතු බව විශේෂඥයින්ගේ මතය වි තිබිණි.
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එන විට පැවති විජලන තත්තවය සහ රුධිරයේ සෝඩියම් ප්‍රමාණය ඉහළ යාමේ තත්තවය අද උදෑසන වනවිට යථා තත්තවට පත්ව ඇති නමුත් ඔහු තවදුරටත් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප්‍රතිකාර සහ ඇද විවේකය ලබා ගනිමින් මානසික ආතතියකින් තොරව කල් ගෙවිය යුතු බව විශේෂඥයින්ගේ නිර්දේශ ය වූවේය.







