මාලදිවයින් මුහුදේ දී මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකායට කොටු වූ කෝටි පන්සීයකට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකුට අයත් බවට සැක කෙරෙන තොරතුරු විමර්ශන අංශවලට මේ වනවිට ලැබෙමින් ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් “දිනමිණ” වාර්තා කරයි.
මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව සිටින පිරිස රැගත් බහුදින යාත්‍රාව මෙරට ලියාපදිංචි කර ඇති එකකි. එහි ධීවරයින් හය දෙනෙක් සිට ඇත.
අනාවරණයවන තොරතුරු අනුව මෙම බහුදින ධීවර යාත්‍රාව ගොස් ඇත්තේ මුහුදු රස්සාවේ නොවේ. ජාවාරම්කරුවන්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව ජාත්‍යන්තර මුහුදට ගොස් පාකිස්තානු ජාවාරම්කරුවන් පැමිණි යාත්‍රාවකින් මත්කුඩු තොගය භාරගෙන මෙරටට රැගෙන ඒමටයි.
මේ බහුදින යාත්‍රාව මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණෙනතුරු මෙරට මුහුදු තීරයේත්, ජාත්‍යන්තර මුහුදු සීමාවේත් ශ්‍රී ලංකා නාවික හමුදාව අවධානයෙන් සිට ඇත. ඒ බවට තොරතුරු ජාවාරම්කරුවන්ට ලැබී තිබේ. ඒ අනුව ඔවුන් ලබා දුන් උපදෙස් මත යාත්‍රාව මාලදිවයින දෙසට යාත්‍රා කර ඇති බව සඳහන්ය.
ඒ ගැන අවධානයෙන් සිටි නාවික හමුදාව වහාම ඒ බව මාලදිවයින වෙරළාරක්ෂක බළකායට දැනුම්දී තිබේ. ඒ අනුව එම යාත්‍රාව මාලදිවයින වෙරළාරක්ෂක බළකාය විසින් කොටු කරගෙන ඇත්තේ පෙරේදා (08)ය.
ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් කෝටි 500ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමඟ බෝට්ටුවක් කොටුකරගෙන තිබුණේ සතියකට පෙරය. දික්ඕවිට වරායට පසුගිය 02 වැනිදා ධීවරයන් 06 දෙනෙක් සමඟ එම ධීවර යාත්‍රාව රැගෙන ආවේ එම කෝටි 500ක මත්කුඩුත් සමගය. මෙම අත් අඩංගුවට ගත් බෝට්ටු දෙකේ තිබූ මත්කුඩුවල වීදි වටිනාකම කෝටි 1000කි. එනම් බිලියන 10කි.
එම බෝට්ටුවෙන් රැගෙන ආ මත්කුඩු තොගය සහ මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය එකම ජාවාරම්කරුවන්ට අයත් බවට විමර්ශන අංශ සැක කරයි. මේ වනවිට එම ධීවර බෝට්ටුව සහ ජවාරම්කරුවන් රටට ගෙන්වා ගැනිමට අවශ්‍ය සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පොලිසිය සහ නාවික හමුදාව සහිත කණ්ඩායමක් මාලදිවයිනට ගොස් එම සාකච්ඡාවලට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඇත. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)







