ඉතිහාසයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් මාධ්‍ය ඉදිරියේ මේ තරම් අපහසුතාවයකට පත්වන ආකාරය දුටුවේ නැත. පසුගිය 22දා සෙනසුරාදා මේ ආකාරයෙන්ම රටේ ආරක්ෂක ප්‍රධානීන් තිදෙනා ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ගේ තත්ත්වයට පත්වන ආකාරය සංවේගයෙන් බලාගෙන සිටියෙමු.
කොටහේනේ දී අත් අඩංගුවට ගෙන නැගිට ගැනීමට නොහැකි වන සේ පහර දී ඇටකටු කුඩුකර ආයුධ සොයන්නට කාක දූපතට ඇදගෙන ගොස් කෑලි කැපිය හැකි අඳුරේ වෙඩි තබා මරා දැමු සැකකරුවන්ගේ ඝාතනය මේ වනවිට සමාජය ප්‍රශ්න කරන තියුණු ආකාරය අද අපි කැබිනට් මාධ්‍ය හමුවේ දී දුටුවෙමු. මෙම ඝාතන දෙක පරණ පුරුදු පිටපතටත් නොගැලපෙන ආකාරයේ සාහසික විගඩමක් බවට පත් වී ඇත්තේ ආණ්ඩුවේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරමිනි.
පිටපතට අනුව මෙවැනි ඝාතන මෙතෙක් සිදුවන්නේ මෙසේය. ආයුද පෙන්වන්න එක්ක යන්නේය. පෙන්නන්න යන එකා එක්වරම පොලිසියේ ආයුධයක් උදුරා ගන්නට යන්නේය. නැතිනම් සඟවා තබා තැබූ ආයුදයක් ගෙන පහර දෙන්නට යන්නේය. අන්තිමට වෙඩි කා මැරෙන්නේය.
මෙතනදී සිද්ධ වන්නේ අපූරු වැඩකි. සැකකරුවන් දෙදෙනා ආයුධ පෙන්වන්න රැගෙන යන්නේය. එක් සැකකරුවෙක් පොලිසියේ ආයුදයක් උදුරා ගන්නට යන්නේය. පොලිසිය සැකකරුවන් දෙදෙනාටම වෙඩි තබා මරන්නේය. දැන් කෙළවී ඇත්තේ ආණ්ඩුවටය. අපව බියපත් කරන්නේ තමන්ට පළමු කෙළවිල්ල දැනෙන්නට කෙළවා ඇති බව නොදන්නවා සේ සිදුවන ආණ්ඩුවේ හැසිරීමය. ඇත්තටම මේ පට්ට පරණ පිටපත මේ තරම් නාගන්නේ නැතිව මීට පෙර ආණ්ඩු රඟපෑවේය. මේ වැඩේ මීට වඩා ක්ලැසික් විදිහට දේශබන්දු ලවා ටිරාන් අලස්ගේ මෙහෙයවීමෙන් කරගත හැකිව තිබූ බව අප කියන්නේ එබැවිනි. දැන් මේ සිදුවීම නීතිඥ සංගමය ප්‍රශ්න කර තිබේ. රටේ මාධ්‍ය ප්‍රශ්න කරමින් ඇත. මිනිස්සු මේ සම්බන්ධව ඍජුව රජයෙන් විමසමින් සිටී.
මේ සියල්ල ඉදිරියේ ආණ්ඩුව හැසිරෙන්නේ අප දන්නා ජඩ දේශපාලනය මෙතෙක් හැසිරුණ ආකාරයට වඩා වෙනස් විදිහකට නොවේ. එහෙත් මේ අපරාධය ආණ්ඩුව බලහත්කාරයෙන් පසුකර යන්නට කරන උත්සාහය සඳහා සමාජයෙන් ඉඩක් නැති ආකාරය අද කැබිනට් මාධ්‍ය හමුවේ දී නලින්ද ජයතිස්සව මාධ්‍ය විසින් ප්‍රශ්න කළ ආකාරයෙන් පැහැදිලි වුනේය.
සිය කතාවට සපුරා වෙනස් භාවිතයක් සම්බන්ධව ආණ්ඩුවේ පැහැදිලි මුල්ම නිල ස්වරූපය නලින්ද ජයතිස්ස හරහා ප්‍රකට වුනේය.
“ආණ්ඩුව අනුදැනුම ඇතිවද කොටහේන සැකකරුවන් ඝාතනය වුනේ. ආණ්ඩුවේ පිළිවෙත මේකද?. නැවත මෙවැනි ක්‍රියාවක් වෙන්නේ නෑ කියන එක ආණ්ඩුවට සහතිකයක් තියනව ද? ” මාධ්‍ය ප්‍රශ්න කළේය. නලින්ද ජයතිස්ස නිශ්චිත උත්තරයක් නැත.
“වත්මන් ආන්ඩුව ආවට පස්සෙ සැකකරුවන් ඝාතනය වුන පළවෙනි අවස්ථාව මේක. ඊයේ කැබිනට් එකේදී මේ සම්බන්ධව කතාබහට ලක්වුනා ද?. මොකක් ද ගත්ත තීන්දුව. අත් අඩංගුවට ගත් සැකකරුවන් ඝාතනය වීම ගැන ජනාධිපති තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය තවම වළංගු ද?. මොකක්ද ඍජු ස්ථාවරය සැකකරුවන් ඝාතනය වීම සම්බන්ධයෙන්… ඔබට පොලිසිය වලංගු නැද්ද?. සැකකරුවෙක් පිටතට රැගෙන යද්දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය කළා ද?… මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනව ද?. .” යළි යළිත් මාධ්‍ය ප්‍රශ්න කරනවිට ආණ්ඩුවේ නිල ප්‍රකාශකයා ඇටිකෙහෙල් කෑ උගුඩුවාගේ තත්ත්වයට පත් විය.
ලෝකයමට පෙනුන කුපාඩිකම සිදුවූ බව පිළිගන්නට, එවැනි කුපාඩිකමක් යළි සිදු නොවන බවට සහතික වන්නට, අඩුම තරමේ මෙය තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව කියන්නට ආණ්ඩුවේ නිල ප්‍රකාශකයාට බැරි විය.
රජය භාරයේ ඉන්නා අපරාධකරුවෙකුට වුවද සැලකිය යුතු ක්‍රමවේදයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අපට කියා දුන්නේය. අඒත් ජනාධිපති අනුර කුමාර දිසානායක නීතියට උඩින් හිඳ මිනී මැරීම ආරම්භ කර ඇත්තේය.
අප යළිත් අවධාරණය කරන කාරණාවක් තිබේ. ජනාධිපති වුනේ අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා නොවේ. පාර්ලිමේන්තුවට පත්වන්නේ නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, හරිනී අමරසූරිය සහ මුහුණක් කටක් නොදන්න සිය ගණනක මාලිමාවුන් ද නොවේ. රට තුළ නීතියේ විධානය ආධිපත්‍ය ආරක්ෂා කිරීමට දේශපාලන ව්‍යාපාරයක් විසින් ලබා දුන් පොරොන්දුව පිළිබඳවූ විශ්වාසනීය බලාපොරොත්තුවය. අප ප්‍රාර්ථනා කළ රාජ්‍ය ගොඩනැගෙනු ඇතැයි අප විශ්වාස කළේ නීතියේ ආධිපත්‍ය හරහා ගොඩනැගෙන ශක්තිමත් පදනම මතය. නලින්ද ජයතිස්ස ඒ ප්‍රාර්ථනා විනාශ කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ පළමු කුළුගෙඩි පහර නිල වශයෙන් අද ගැහුවේය.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව අපට දැන් වැටහෙන්නේය. නලින්ද ජයතිස්ස අද කැබිනට් මාධ්‍ය හමුවේ දී හැසිරුන ආකාරය පහතින් බලන්න. මේ මිනිස්සුන් අවකෙළි කෙළින්නේ අපේ අවසාන බලාපොරොත්තුව සමගය. ගහන ගේමක් රට ඉදිරියේ මේ තරම් කුජීත නොවී ගහන්නට බැරි උද්දච්ඡ ගොබිලන් ටිකක් ලෙස මේ නටන නැටුම මෙතනින් නිමා නොවුනහොත් සිදුවන විනාශය ලංකා ඉතිහාසයේ සිදුවුන බරපතලම ව්‍යසනය වනු ඇත.
මක්නිසාද යත් මේ අවභාවිතා කරන්නට හදන්නේ මිනිස්සුන්ගේ දැල්වෙන හැඟීම්බර බලාපොරොත්තු බැවිනි. මේ වීඩියෝව බලන්න.







