බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු කට්ටඬින්ට රැවටී තම ජීවිතයට කිසිවෙකුට හානි කළ නොහැකි යැයි සිතූ ජනපති ප්‍රේමදාසගේ අවසන් හෝරා කීපයේ නොකියැවුන කතාව….

by editor
අප්‍රේල් 27, 2024
in පුවත්
මරණයට මොහොතකට පෙර... රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ආමර්විවිදියේ...

මරණයට මොහොතකට පෙර... රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ආමර්විවිදියේ...

Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ –
( සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි)

ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර්. ජයවර්ධන   1978 දී පත්වන විට අග්‍රාමාත්‍යධුරය හොබවන්නේ රණසිංහ ප්‍රේමදාසය. ඔහු සැලකෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසිනි. ජේ.ආර්. ජයවර්ධන දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වන්නේ රණසිංහ ප්‍රේමදාසය.

ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වන්නේය. ඝාතන දිනය 1993 මැයි මස 01 වැනිදා ය. ඒ    ආමර් විදීයේදී පුපුරා ගිය බෝම්බයකිනි.   එම බෝම්බ පිපිරුම තවමත්  අබිරහසකි.

බාබු නමැති එල්.ටී.ටී.ඊ. බෝම්බකරුවෙක් පාපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හරිමින් ප්‍රේමදාස ජනාධිපතිවරයාව ඝාතනය කළ බව පොදු පිළිගැනීමය. බාබු නමැති බෝම්බකරු ගැනද ඇත්තේ විවිධ කතාවන්ය. ඔහු කාලයක්ම රැඳී සිට ඇත්තේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නිතර ගැවසුණු සුචරිතයේය. ඔහු සුචරිතයට කිට්ටු වී ඇතැයි පැවසෙන්නේ ජනාධිපති ප්‍රේමදාසගේ විශ්වාසනීය  සමීපතමයන් අරත ඉහළින්ම සිටි මොහිදින් මඟිනි.

  • මොහිදීන් – බාබු හොර බඩු වෙළෙඳාම

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ  ආරක්ෂාවට එකල සිටි නිලධාරීන් අදටත් පවසන්නේ මොහිදින්ට හැමෝම බියක් දැක්වූ බවය. එම බිය ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට ද පොදු වූවකි. කියැවෙන ආකාරයට අනුව මොහිදින් තමාට ගොඩනැඟී තිබුණු බලය අයුතු ලෙස භාවිතා කරමින් ව්‍යාපාරවල නිරත වූවෙකි. බාබු සමඟ එක්ව ඔහු උතුරට තහනම් බඩු ලොරි යැවූ බවද කියැවෙයි.

“ඔය සම්බන්ධයෙන් තොරතුරක් ඒ කාලේ මටත් ලැබිලා තිබුණා. සිල්වාස් කියලයි ඔය ලොරිවලට කීවේ. ඔය ලොරි ටික කොළඹ ඉඳන් යන්න තියෙන්නේ පාරවල් තුනකයි. ඒ කාලේ මම සේවයේ නිරත වෙලා හිටියේ මහව පොලිස් අධිකාරීවරයා ලෙසයි. මම ඔය ලොරි ටික අල්ලන්න ඇහැ ගහගෙනමයි හිටියේ. ඒත් මට නම් හම්බ වුණේ නැහැ” මේ ගැන කියන්නේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලකය.‍

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ප්‍රේමදාස ජනාධිපතිවරයාට ඉතා සමීප මෙන්ම විශ්වාසවන්ත පොලිස් නිලධාරියෙක් වූ එඩිසන් ගුණතිලක මහව පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර ගනු ලබන්නේ ද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනි. එයට හේතුව එකල ජවිපෙ භීෂණය දරුණුවටම පැවතියේ  එම ප්‍රදේශයේ බැවින් සහ ජනාධිපතිවරයා විවේක ගැනීමට නිතර පැමිණෙන ස්ථානයක් වූයේ අඹන්පොළ අඹවත්තට වූ බැවිනි.

  • අප්‍රේල් මාසේ බාබු අඹන්පොල අඹවත්තේ…

ගඩාෆි ලෙස එකල ජනතාව අතර ප්‍රචලිතව සිටි එඩිසන් ගුණතිලක පවසන්නේ බාබු නැමැති ඒ බෝම්බකරු ජනාධිපතිවරයාගේ අඹන්පොළ අඹවත්තට ද වරක් පැමිණි බවය.

“අඹවත්තේ තිබුණ බංගලාව බලා කියාගෙන ජනාධිපතිවරයාගේ අවතේව කරගෙන හිටියේ විජේරත්න කියල අයෙක්. විජේරත්නත් ජනාධිපතිට ගොඩක් හිතවත් වගේම කිට්ටුවන්තයෙක්. මොහිදින් වගේ විජේරත්නට බලයක් තිබුණේ නැහැ. මට මතක හැටියට ප්‍රේමදාස ජනාධිපතිවරයා බෝම්බයට හසුවෙන්න සතියකට දෙකකට ඉස්සරින් දවසක විජේරත්න මට කිව්වා හෙට අනිද්දා ජනාධිපතිතුමා වත්තට එනවා කියලා. එයාට ඒ වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ බාබු ගැන. “

“ඊට ඉස්සරින් දවසේ කොළඹ ගිය වෙලාවේ විජේරත්න ගිය වාහනයට  බාබුව නග්ගලා මොහිදින් කියලා තියනවා  වත්තට එක්කර ගෙන යන්න කියලා. මොහිදින් ඒ වෙලාවේ බාබුව හඳුන්වලා දීලා තියෙන්නේ එයාගේ යාළුවෙක් කියලයි. විජේරත්නට ඊට විරුද්ධ වෙන්න විදිහක් නැහැ. බාබු වත්තට ආපු වෙලාවේ ඉඳන් කැමරාවක් තියාගෙන වත්තෙ හැම තැනම කැරකැවෙමින් ෆොටෝ ගහලා. “

විජේරත්න මෙහෙම කිව්වා.  ‘මේ මිනිහා කවුද කියල බලන්න මම වත්තට ගියා . මිනිහා මගෙත් ෆොටෝ ගත්තා. මිනිහට පොඩි සත්තමකුත් දාලා ඔෆිස් එකට ඇවිල්ල ජනාධිපතිතුමාට කොල් එකක් අරගත්තා. මම ජනාධිපතිතුමාට කිව්වා, වත්තට කෙනෙක් ඇවිල්ලා තියෙනවා, සුචරිතයේ ඉඳන්, මිනිහාව මට අවිශ්වාසයි’ කියලා. ඒ කෝල් එක දිලා පැයක් හමාරක් ගියේ නැහැ. මිනිසා වත්තෙන් ගියා.“ විජේරත්නගෙන් දැනගත් පරිදි බාබු අඹන්පොළ අඹවත්තට ආ ගිය කතාව එසේ කියන්නේ එඩිසන් ගුණතිලකය.

මෙසේ බාබු අඹන්පොළ අඹවත්තට පැමිණ ඇත්තේ 1993 වසරේ අප්‍රේල් මාසයේ දිනයකදීය. අලුත් අවුරුද්දට අඹන්පොළ වත්තට පැමිණි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දින හතර පහක්ම එහි ගත කර ඇත්තේය. එසේ පැමිණෙන ජනාධිපතිවරයා මෝටර් රථය ඔහුම පදවාගෙන ගමන් කරන අවස්ථා බොහෝය.

එදා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනය ගැන කෙ‍රෙන විමර්ශනයට අදාළව පවා කිසිදු විමර්ශන නිලධාරියෙක් බාබු අඹන්පොළ වත්තට ආ ගිය ගමන ගැන සොයා බලා නැත. තමාගෙන් ඒ ගැන කිසිවකුත් ප්‍රශ්න කළේ ද නැති බව එඩිසන් ගුණතිලක පැවසුවේය

ප්‍රේමදාස ජනාධිපතිතුමා එන යන ගමන් වලදී රාජ්‍ය ආයතනවලට ගොඩවදින්නේද පෙර දැනුම්දීම්වලින් තොරවය.

“ප්‍රේමදාස ජනාධිපතිතුමා කැමති නැහැ; එතුමාගේ ආරක්ෂාවට වැඩිපුර නිලධාරින් යොදාගන්නවට. ඒ වුණාට අපිට බැහැනේ, ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන බලන්නේ නැතිව ඉන්න. ජනාධිපතිතුමා වත්තට එන හැම අවස්ථාවකදීම මම අවට පොලිස් ස්ථානවලින් නිලධාරින් ගෙනල්ල පිටත ආරක්ෂාව ශක්තිමත් කරනවා. එදා ජනාධිපතිතුමා දැක්කා එතුමාගේ ආරක්ෂාවට විශාල නිලධාරින් පිරිසක් යොදවලා තියෙනවා. “ඇයි ගුණේ මේච්චර පොලීසියේ කට්ටියක් ගෙනල්ල තියෙන්නේ” කියලා‍ ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මම කිව්වා සර්ගේ ආරක්ෂාවට කියලා. “ගුණේ මගෙ ආරක්ෂාවට කියලා පොලීසිවල ඉන්න නිලධාරීන් ගෙන්නුවම පොලීසිවල වැඩ කරන්නේ කවුද? නිලධාරීන් නැති වුණාම මිනිස්සු පොලීසිවල වැඩ කෙරෙන්නේ නැහැ. එතකොට මිනිස්සු බනින්නේ අපිටයි. අනික මට ආරක්ෂාවක් ආයි ඕනේ වෙන්නේ නැති වේවි කියල ජනාධිපතිතුමා මට කිව්වා. ජනාධිපතිතුමා අන්තිමට කියපු දේ මට අද වගේ මතකයි. “ආයි මට ආරක්ෂාවක් ඕනේ වෙන්නේ නැතිවේවි. එයාලට යන්න කියන්න” කියලා කියපු එක. ඒ විදිහටම එදායින් පස්සේ ජනාධිපතිතුමාට ආරක්ෂාවක් දෙන්න වුණේ නැහැ.එයින් පස්සේ එතුමා නැතිවුණු නිසා ” යැයි එඩිසන් ගුණතිලක ඒ අවස්ථාව මතකයට නැඟුවේය.

  • ප්‍රේමදාසගේ අවසන් හෝරාව ගැන නිමල් ලෙව්කේ ගේ මතකය

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක අංශය විසින් සිදු කළද එහි වැඩි ආරක්ෂක බරක් දරා තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායයි. එකල විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ලෙස සේවයේ නිරතව සිටියේ නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේනය. එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස එකල සේවයේ නිරතව සිටියේ නිමල් ලෙව්කේය. ඔහු එකල පොලිස් අධිකාරිවරයෙකි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ලෙස ද පසුකාලයේ කටයුතු කර ඇති කීර්තිමත් නිලධාරියෙක් වන නිමල් ලෙව්කේට ද ජනාධිපති ප්‍රේමදාසගේ අවසන් හෝරාව ගැන කියන්නට බොහෝ දේ ඇත්තේය. ඒ වන විට ඔහු විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට අමතරව දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ආරක්ෂාව ගැනද සොයා බැලීමේ වගකීම ද දරමින් සිටියේය.

“ලලිත් ඇතුලත්මුදලිගේ මරණය ගැන ප්‍රේමදාස ජනාධිපතිවරයාටත් ඇඟිල්ල දිගුවෙලයි ඒ වෙනකොට තිබුණේ. මට දැනුණා ඒ තත්ත්වය ජනපති ප්‍රේමදාසගේ ආරක්ෂාවටත් බලපාන බව. ඒ නිසා මම අප්‍රේල් 29 වෙනිදා ඩී.අයි.ජී. ලයනල් කරුණාසේන හම්බවෙලා කිව්වා අපි ජනාධිපතිගේ ආරක්ෂාව ගැන දැන් තියෙන තත්ත්වයට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. මම එහෙම කිව්වේ ඒ කාලවකවානුව වෙනකොට දේශපාලනඥයන් කිහිප දෙනකුගේම ජීවිත අවදානම් තත්ත්වයක තිබ්බ නිසයි. මම ලයනල් කරුණාසේනට පැහැදිලිවම ඒ වෙලාවේ කිව්වා ‘සර් ජනාධිපතිතුමා මැයි රැලිවලට සහභාගි වෙනවා නම් වළක්වන්න ඕනේ’ කියලා.

“ඒ වෙලාවේ ලයනල් කරුණාසේන මගෙන් ඇහුවා ඇයි නිමල් එහෙම කියන්නේ කියලා. ඒ වෙනකොට වෙලා තිබුණු සිදුවීම් කිහිපයක් එක්ක මම ඒ වෙලාවේ ජනාධිපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අනාරක්ෂිත භාවය ගැන ලයනල් කරුණාසේනව දැනුවත් කළා. මම ඒ වෙලාවේ පැහැදිලිවම කිව්වා මැයි පෙළපාළියක මහා පාරේ ගමන් කරන එක ජනාධිපතිතුමාගේ ජීවිතයට අවදානමක් කියලා. පෙළපාළියේ යන්නම ඕනේ නම් උඩින් ඇරලා තියෙන වාහනයක යන එක තමයි තරමක් හරි ආරක්ෂාවක් තියෙන්නේ කියලත් කිව්වා. මම ලයනල් කරුණාසේනට එදා යෝජනා කළා තියෙන තත්ත්වය මත ආරක්ෂාව වැඩි කරන්නත් ඕනේ. එතුමා යන එන තැන්වල සෙනඟට මුවාවෙලා ආරක්ෂාවට නිල ඇඳුමින් කණ්ඩායම් යොදන එක වැදගත් කියලා.”

ජනපති ප්‍රේමදාස වෙඩි නොවඳින කබා පවා ප්‍රතික්ෂේප කළ අයෙකි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ගැන ඕනෑවටත් වඩා සැළකිලිමත් වන්නට සිදුවන්නේ එබැවිනි. පවතින අවදානම් තත්වය මත ජනාධිපතිවරයා මැයි දින පෙළපාළියේ ගමන් කරයි නම් අඩුම තරමින් ඇඳුමට යටින් අඳින kevlar වර්ගයේ වෙඩි නොවඳින කබායක්වත් අන්දවන්නට කටයුතු කරන ලෙස ලයනල් කරුණාසේනට යෝජනාවක්ද එහිදී ලෙව්කේ කළේය.  ලයනල් කරුණාසේන ද මේ හැමදෙයක්ම ජනපතිට කීවත් ඔහු ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකළේය.  ජනාධිපතිවරයා  සිය ජීවිතයට කිසිවෙකුටත් හානි කළ නොහැකි බවට දැඩි විශ්වාසයක එල්බ සිටියේ ඉන්දියාවෙන් ආ ගුරුකම්කාරයින්ගේ කීමට රැවටීය.

“මැයි 01 වෙනිදා එස්.ටී.ෆ් මෙහෙයුම් මැදිරියේ දවල් 2.00 ඉඳන් ඩියුටි භාරව තිබුණේ මට. ඒ නිසා එදා උදේ වරුවේ මම හිටියේ ගෙදර. කම්මැලිකමටත් එක්ක මම දවල් දොළහයි දහයට විස්සට විතර එස්.ටී.එෆ්. මූලස්ථානය පැත්තට ආවා. මගේ වාහනේ ගේට්ටුවෙන් කෑම්ප් එක ඇතුළට ගන්නවාත් එක්කම ලයනල් කරුණාසේන වාහනේ නැඟලා එළියට යන්න සූදානම් වෙනවා. අපි දෙන්නව මුණ ගැහුණේ කොරිඩෝවෙදි. “නිමල් මම යනවා ස්ටේඩියම් එක ගාවට “ලයනල් කරුණාසේන මාව දැකල වාහනේට නඟින ගමන් කිව්වා. “මම කියපු දේ මතක තියාගන්න සර්, ජනාධිපතිතුමාට පාරේ යන්න දෙන්න නම් එපා” කියලා මම ඒ වෙලාවේ කිව්වා.

“මම උත්සාහ කරන්නම්” කියාගෙන එයා ගියා. මම කෑම්ප් එක ඇතුළට ගිහින් ටිකක් වෙලා ඉඳලා ආපහු ගෙදර ගියා. එදා උදේ වරුවේ මෙහෙයුම් මැදිරියේ ඩියුටි හිටියේ උපාලි සහබන්දු. සවස 2.00ට එන්නම් කියලා එයාට කියාගෙන මම ගෙදර ගියා.

  • ප්‍රේමදාසගේ සිරුර හඳුනාගත් හැටි…

මට කොල් එකක් ආවා කෑම්ප් එකෙන්. එතකොට වෙලාව දවල් 12.47ට විතර ඇති. සර් ග්‍රෑන්ඩ්පාස්වල බ්ලාස්ට් එකක් කියලා කිව්වා. ඒ වෙලාවේ මම කෝල් එක දුන්න කෙනාගෙන් ඇහුවා ඩබල් එක්ස් (xx) එතැන ඉදල තියෙනවද කියල. ඩබල් එක්ස් කියල අපි හඳුන්වන්නේ ජනාධිපතිවරයාව. හරියට ඒ ගැන තොරතුරක් නැහැ කියලා ඇමතුම දුන්නු නිලධාරියා කිව්වා. මම කෙළින්ම ගියේ පොලිස් මෝචරියට. ඒ යනකොට එස්.පී. ආටිගල එතැනට ඇවිත් හිටියා. එයා ජනාධිපතිගේ ආරක්ෂාවට හිටපු කෙනෙක්. මම ආටිගලගෙන් ඇහුවා ජනාධිපතිතුමාට මොකද කියල. ඒ වෙලාවේ එයා කිව්වා ජනාධිපතිතුමා කලින්ම ගියා කියලා. මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ එතකොටයි..

එදා ජනාධිපති ප්‍රේමදාසගේ ළඟින්ම සිටි ආරක්ෂකයින් වූ සහකාර පොලිස් අධිකාරී සරත් මහින්ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි සිල්වා සහ සැරයන් ප්‍රේමසිරි යන තිදෙනාම ඒ වන විටත් සිටියේ මිය ගොසිණි. ඒ හැරුණු කොට තවත් පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිප දෙනෙක්ම මියගොස් සිටි අය අතර සිටියේය.

“උපාලි සිල්වා කියන්නේ හොඳ වෙඩික්කාරයෙක්. තප්පරේට වෙඩි තියන්න පුළුවන් කිහිපදෙනා අතර එයා ඉන්නවා. තප්පරයක් ඇතුළත ගිනිඅවිය අරන් ඉලක්කයට වෙඩි තියන්න පුළුවන් හැකියාවක් හා පුහුණුවක් උපාලිට තිබුණා. ඒ කාලේ අපි දෙතුන් දෙනෙක්ට විතරයි එම හැකියාව තිබුණේ. ඉලක්කයක් නොමැතිව උපාලි ගිනිඅවිය අතට ගන්නෙත් නැහැ. ගත්තොත් වෙඩි නොතිය ඉන්නෙත් නැහැ. එදා බෝම්බ පිපිරුමෙන් පස්සේ උපාලිගේ වෙපන් එක බිම තිබිලයි හම්බ වුණේ. උපාලි හිටියේ ජනාධිපතිතුමාගේ සමීපතම ආරක්ෂකයෙක් විදිහට. උපාලි බෝම්බකරුවා හඳුන ගෙන ඔහුව නවත්වන්න ගිනිඅවිය අතට අරන් කියලයි මම අදටත් හිතන්නේ. හැබැයි ඊට ඉස්සරින් බෝම්බය පිපුරුණා. මම විශ්වාස කරන්නේ තව තප්පර ගාණක් එහා මෙහා වුණා නම් සමහර විට ජනාධිපතිතුමාගේ ජීවිතය බේරගන්න තිබුණ කියලයි” යැයි නිමල් ලෙව්කේ පවසයි.

“මම මෝචරියට ගිහින් බැලුවේ අපේ නිලධාරීන් ගැන. ට්‍රේ එකක දාපු බොඩියක් තිබුණා. මාත් එක්ක ඒ වෙලාවේ ඒ.එස්.පී. මාන්නායක හිටියා. සර් මේ ප්‍රසිඩන්ට්ගේ බොඩි එක නේද කියලා මගෙන් ඇහුවා. එතකොටයි මමත් දැක්කේ ජනාධිපතිතුමාගේ බොඩි එක. ජනාධිපතිගේ බොඩි එක මේස උඩින් තියල මෝචරියේ හිටපු අයට කිව්වා මේ ඉන්නේ ජනාධිපතිතුමා කියලා. ඒ වෙනකොටත් කවුරුත් දැනන් හිටියේ නැහැ ජනාධිපතිතුමා බෝම්බයට හසුවෙලා නැතිවෙලා කියලා” ජනාධිපති ප්‍රේමදාස බෝම්බයට හසු වී මියගොස් ඇතැයි හෙළි වන්නේ එසේය. මෙතෙක් කාලයක් රහසක්ව තබාගෙන සිටි ඒ කතාව නිමල් ලෙව්කේ එළියට දැමුවේ ඒත් එක්කම තවත් අපූරු කතාවක්ද කියමිනි.

ලෙව්කේ ඊළඟට කෙලින්ම යන්නේ බෞද්ධාලෝක මාවතේ පිහිටි විශේෂ කාර්ය බළකා මූලස්ථානයටය. ඒ යන විට විශේෂ කාර්ය බළකායේ සේනාවිධියක ලයනල් කරුණාසේන සිය කාර්යාලයේ රැඳී සිටියේය. ලෙව්කේ කෙළින්ම ගියේ ඔහුගේ කාර්යාල කාමරයටය. සිය පුටුවේ දිගැදී ඔහු සිටියේ උඩ බලාගෙනය. “හරි වැඩේනේ සර් ජනාධිපති නැතිවෙලා“ යැයි ලෙව්කේ කීවේය. ඊට කිසිදු ප්‍රතිචාරයක් ලයනල් කරුණාසේනගෙන් නොවීය. හැලහොල්මනක් නොමැතිව ඔහු සිටියේ උඩ බලාගෙනමය. “සර් බොඩිය පොලිස් මෝචරියේ තියෙනවා” යැයි නැවතත් ලෙව්කේ කීවේය. “මම දන්නවා. බ්ලාස්ට් එක වෙනකොට මම හිටියේ ඊට ඩිංගක් එහායින්. ඒ බෝම්බෙන් ප්‍රසිඩන්ට් බේරෙන්න විදිහක් නැහැ”යැයි ලයනල් කරුණාසේන කීවේ උඩ බලාගෙනමය.

  • ප්‍රේමදාසගේ මරණයට වඩා ඔරලෝසුවයි මුද්දයි ගැන උනන්දුවුන  පවුලෙ  අය

“බෝම්බ පිපිරිමෙන් පස්සේ මහා පාරේ වැටිලා මිය ගිහින් හිටපු එස්.ටී.එෆ්. අයගේ මළ සිරුරු ගෙනල්ල තියෙන්නේ එස්.ටී.එෆ්. එකේ අයයි ඩිෆෙන්ඩරයක දාගෙන. ජනාධිපතිවරයාගේ සිරුරත් ඒ අයත් එක්කම දාගෙන ඇවිත් තියෙන්නෙත් එස්.ටී.එෆ්. එකේ අයයි. ඒ ගැන තොරතුරු අනාවරණ වෙලා තියෙන්නේ විමර්ශනවලදී. “

“එස්.ටී.එෆ්. එකට චෝදනාව එන්නේ බොඩි එක ඩිෆෙන්ඩරයට දානකොට තිබ්බ ජනාධිපති තුමාග්  ඔරලෝසුවයි මුද්දයි නැහැ කියන එක. මම කෑම්ප් එකට යනකොට කට්ටිය හොඳටෝම කලබල වෙලා. ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයෙකුගෙනුයි මේ චෝදනාව එල්ල වෙලා තිබුණේ. කියපු හැටියට ඔරලෝසුව ලොකු වටිනාකමක් තිබ්බ එකක්. මම කලබල වෙන්නේ නැතුව හොයලා බැලුවා එදා ඒ ඩිෆෙන්ඩරයේ ඩ්‍රැයිවර් කවුද කියලා. ඉස්සරින් දවසම රෑ වෙනකම් මහන්සි වෙලා වාහනේ එළවපු සාජන් විවේකයක් ගන්න ගෙදර ගිහින් තිබ්බා. මම එයාට කෝල් එකක් දාල ඇහුවා වාහනේ වටිනා කියන මුකුත් එහෙම තිබ්බද කියලා. එයා කිව්වා හැබැයි ඔරලෝසුවකුයි ගලක් අල්ලපු මුද්දකුයි ඩිෆෙන්ඩරයේ පිටිපස්සේ බිම තිබිලා හම්බ වුණා කියලා. අපේ සර් කෙනෙක්ගේ වෙන්නැති කියලා මම ලියුම් කවරයක දාලා වාහනේ ගියර් බොක්ස් එක ගාව තිබ්බා. සාජන් ධර්මරත්න මට කිව්වා. “

“මම ස්ටෝස් එකෙන් හොයලා බැලුවා ලියුම් කවරයක දාපු මොනව හරි දෙයක් උදේ භාර දීල තියෙනවද කියල. එතැන තිබුණේ ඔරලෝසුව විතරයි. පරණ ඔරලෝසුවක් ඒක. ඔරලෝසුව හම්බවෙනකොට දැන් මුද්ද නැහැ. මැණික් ගලක් අල්ලලා තියෙන ලොකු ගාණක් වටින මුද්දක් කියල ඔන්න ආයිමත් ගෝරණාඩුව පටන් ගත්තා. මම ඒ වෙලාවේ නිලධාරීන්ට යොදවලා පරීක්ෂා කළා ඒ කියපු වාහනේ. ඒකේ ගියර් බොක්ස් එක අස්සේ වැටිලා තිබිලා මුද්දත් හම්බ වුණා.” නිමල් ලෙව්කේ කියන්නට වූයේ සිනාසෙමිනි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එම ඝාතනය ගැන පවා ඇත්තේ ද අබිරහස් ගොන්නකි. ලබන මැයි 01 වැනිදාට එතුමා ඝාතනය වී වසර 31කි. එහෙත් තවමත් ඒ පුපුරා ගිය බෝම්බයේ දෝංකාරය සමාජයෙන් පහව ගොස් නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු සමූල ඝාතන චෝදනා ඉදිරියට දමා කාදිනල්තුමා ධූර කාලය දීර්ඝ කර ගැනීමට හදනබවට  පලවන ප්‍රවෘතිය ද්වේශ සහගත මඩක්… කතෝලික සභාව අවධාරණය කරයි!

Next Post

සුප්‍රකට ඉරාක ටික් – ටෝක් තරුව ඕම් ෆහාඩ් වෙඩි තබා ඝාතනය කරයි… ( වීඩියෝ සහිතයි)

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.