ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහරිනු ලැබීය.
ඊයේ ඇය අත් අඩංගුවට ගනු ලැබුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළවය. ඊයේ කෙහෙළිය රඹුක්වැල්ලෙගේ දියණියන් දෙදෙනෙකු හා හා බෑනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහි දී එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් ඇප තබා මුදාහැරීමට අධිකරණය නියම කළේය.
කෙසේ වෙතත් එහිදී චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ලට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි විය. එබැවින් ඇය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි. අද ඇප කොන්දේසි සපිරීමෙන් පසු චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල නිදහස් කරනු ලැබුවේය.







