දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම පිණිස මෙහෙයුමක් දියත් කරමින් සිටියදි ධීවරයින්ගේ ප්‍රචණ්ඩත්වයට ලක්ව නාවික හමුදා භටයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් දස දෙනාම ජූලි මස 8 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත් ඇන්ටන් ජූඩ්සන් ඊයේ (26) දා නියෝග කළේය.
කන්කසන්තුරේ නාවික හමුදා කදවුරේ නිලධාරීන් පිරිසක් 25 වෙනිදා ඩෙල්ෆ්ට් මුහුදු තීරයට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී අතිශය කළහකාරී ලෙස හැසිරී තම ධීවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක දැඩි ලෙස ගැටීමට සැලැස්වීම නිසා අනතුරට පත් වී බරපතල තුවාල ලැබීමෙන් පසු නාවික හමුදා හටයා මියගොස් තිබුණි.
මේ අවස්ථාවේදී නාවික හමුදාව විසින් බෝට්ටුවක් සමග ඉන්දීය ධීවරයින් දස දෙනෙකු අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කන්කසන්තුරේ පොලීසිය වෙත බාර දෙන ලදී.
පොලීසිය එම ධීවරයින්ව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට එම වෛද්‍ය වාර්තාවන්ද සමග සැකකරුවන්ව මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
එම ධීවරයින්ට එරෙහිව චෝදනා හතක් ගොණු කොට තිබූ අතර නීති විරෝධී ලෙස උතුරු මුහුදු සීමාවට ඇතුලුවිම නාවික හමුදා අණ නොතැකීම කලහකාරී ලෙස හැසිරීම අනතුරුදායක ලෙස බෝට්ටුවක් පැදවීම අනතුරක් සිදු කොට එක් අයෙකු මරණයට පත් කිරීම යන චෝදනාද ඒ අතර විය.
චෝදනා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉන්දීය ධීවරයි න් දස දෙනාව ජූලි මා 8 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළේය.