අසේල කුරුළුවංශ –
අධිකරණ ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අවසානයේ දී සිදුවූයේ විපක්ෂ නායකවරයා කෙරෙහි තබා තිබූ විශ්වාසය භංග වීම පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරයි.
අඩුම තරමින් විපක්ෂය නියෝජනය කරන සමස්ත මන්ත්‍රීවරුන්ගේ සහයෝගය හෝ මෙම විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් දිනා ගැනීමට විපක්ෂ නායකවරයා අසමත් වීම තුළින් මෙම තත්ත්වය මැනවින් පැහැදිලි වන බව ද ඔහු පෙන්වා දෙයි.
කටුගස්තොට, වැරැල්ලගම ප්‍රදේශයේ පැවැති මහජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙසේ ද පැවසීය.
“ආණ්ඩුවට පැහැදිලි බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබියදී, විපක්ෂය අධිකරණ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම්, අඩුම තරමින් විපක්ෂයේ සියලු දෙනා හෝ ඒ වෙනුවෙන් එක මතයක සිටිය යුතුයි. නමුත් සිදු වූයේ කුමක්ද? මෙම යෝජනාවට අදාළ ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී මගහැර ගියා. ඉන් පැහැදිලිවම පෙනී යන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා තමන්ගේ විපක්ෂ නායකවරයා කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවයි.”
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මීට පෙර ගෙන ආ විශ්වාසභංග යෝජනාව සහ මෙම විශ්වාසභංග යෝජනාව අතර පැහැදිලි වෙනස්කම් පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා, මෙම පියවර සම්පූර්ණයෙන්ම පටු දේශපාලන අරමුණක් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් පමණක් දියත් කළ එකක් බව ද අවධාරණය කළේය.







