සූරියවැව – නුවන් ජයසේකර –
තණමල්විල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල මූලස්ථාන පොලිසිය අද (29) සමත් විය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 31 සහ 33 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර වෙත ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව, තංගල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.
එහිදී පළමු සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 460ක් සොයා ගැනුණි. අනතුරුව අනෙක් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 01යි ග්‍රෑම් 511ක්, දේශීය වියළි ගංජා කිලෝ 20ක් සහ ගංජා ඇට කිලෝ 04යි ග්‍රෑම් 140ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිට ඇති බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව පොලිසිය පවසයි. සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







