කපිල කේ හීනටියන –
රුසියාව සහ යුක්රේනය අතර පවතින දරුණු ගැටුම් මධ්‍යයේ රුසියානු හමුදාවන්ට සහාය වීම සඳහා එක් වූ උතුරු කොරියානු සෙබළුන් දහස් ගණනක් මියගොස් හෝ බරපතල තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.
2024 වසරේ අගභාගයේ සිට ආරම්භ වූ මෙම යුද සහයෝගීතාවය තුළදී, පුහුණුව ලත් උතුරු කොරියානු භටයන් දහස් ගණනක් යුක්රේන දේශසීමා ආසන්නයේ රුසියානු භූමිය ආරක්ෂා කිරීම සඳහා යොදවා තිබුණි. කෙසේ වෙතත්, වත්මන් වාර්තා පෙන්වා දෙන්නේ මෙම තීරණය උතුරු කොරියාවට ඉතා ඉහළ මානුෂීය පිරිවැයක් ගෙන දී ඇති බවය.
දකුණු කොරියානු බුද්ධි අංශ වාර්තා කරන පරිදි, 2024 වසරේ අගභාගයේ සිට උතුරු කොරියාව විසින් සෙබළුන් 14,000ත් 15,000ත් අතර ප්‍රමාණයක් රුසියාව වෙත යවා ඇත. මොවුන් ප්‍රධාන වශයෙන් යොදවනු ලැබුවේ බටහිර රුසියාවේ කුර්ස්ක් (Kursk) ප්‍රදේශය වෙතය. යුක්රේන හමුදා රුසියානු භූමියට ඇතුළු වී අත්පත් කරගෙන සිටි ප්‍රදේශ නැවත මුදාගැනීම සඳහා රුසියානු හමුදා සමඟ උරෙන් උර ගැටී සටන් කිරීමට මෙම උතුරු කොරියානු සෙබළුන්ට සිදු විය.
දරුණු ජීවිත හානි සහ “මිනිස් රැලි” ප්‍රහාර
උතුරු කොරියාවෙන් පැමිණි මෙම සෙබළුන් හුදෙක් සාමාන්‍ය සේවා බලකායන් නොව, එරට “Storm Corps” ලෙස හැඳින්වෙන විශේෂ බලකායන්ට අයත් පිරිස් බව බුද්ධි අංශ තහවුරු කරයි. වසර 8 සිට 10 දක්වා වූ අතිශය දැඩි හමුදා සේවයක නිරත වන මොවුන්, කඳුකර සටන් ක්‍රම සහ සතුරු බලකොටු ආක්‍රමණය කිරීම පිළිබඳව මූලික වශයෙන් මනා පුහුණුවක් ලබා සිටියහ.
කෙසේ වෙතත්, ඩ්‍රෝන තාක්ෂණය, විද්‍යුත් යුධ ක්‍රම (Electronic Warfare) සහ නිරවද්‍ය කාලතුවක්කු ප්‍රහාර වැනි නවීන යුද උපක්‍රම සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම මුලදී ඉතා අල්ප මට්ටමක පැවතුණි. එබැවින් කුර්ස්ක් සටන් බිමේ මුල් මාස කිහිපය තුළ උතුරු කොරියානු සෙබළුන්ට අතිවිශාල ජීවිත හානි සිදුවිය. ඒ ඔවුන් යල්පැන ගිය “මිනිස් රැලි” ප්‍රහාරක ක්‍රම භාවිත කිරීම හේතුවෙනි. මෙහිදී සෙබළුන් විශාල පිරිසක් එකවර සතුරු ආරක්ෂක වළලු වෙත කඩා පනිනු ලැබූහ. එහිදී සිදුවන ජීවිත හානි අතිවිශාලය

2026 වසරේ මුල් භාගය වන විට ලැබී ඇති දත්තවලට අනුව, සටන් බිමට පිවිසි උතුරු කොරියානු සෙබළුන්ගෙන් 6,000කට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇත. මෙය රුසියාවට යවන ලද මුළු සෙබළුන් සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයකි.
මේ තාක්ෂණික අඩුව පිරවීම වෙනුවෙන් රුසියාවේ උසුරිස්ක් (Ussuriysk) සහ උලාන්-උඩේ (Ulan-Ude) වැනි නැගෙනහිර දිග කඳවුරුවලදී රුසියානු ආරක්ෂක උප ඇමති යුනුස්-බෙක් යෙව්කුරොව්ගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂිත පුහුණු වැඩසටහනක් උතුරු කොරියානු සටන් කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විය. එහිදී අගල් ආක්‍රමණය කිරීමේ උපක්‍රම (Trench assaults) මෙන්ම රුසියානු භාෂාවේ මූලික වචන 100ක් පමණ ඉගෙන ගනිමින් රුසියානු අණදෙන නිලධාරීන් සමඟ සන්නිවේදනය කිරීමට ඔවුන් හුරු කරනු ලැබීය. විශේෂයෙන්ම ‘Uran-6’ සහ ‘Stalker’ වැනි රුසියානු රොබෝ පද්ධති යොදා ගනිමින් බෝම්බ ඉවත් කිරීමේ (Demining) විශේෂ පුහුණුවක් ද මොවුන්ට ලබා දෙන ලදී.
දැන් යුකේරේන හමුදා වාර්තා කරන්නේ මෙම සෙබළුන් ඉතා ඉක්මනින් යුද බිමේ තත්ත්වයන්ට අනුගත වීමේ හැකියාව පෙන්වා ඇති බවය. 2025 අගභාගය වන විට මොවුන් ඩ්‍රෝන මඟින් ඉලක්ක හඳුනාගැනීම සහ ප්‍රහාරක මෙහෙයුම් සඳහා මඟ පෙන්වීම් ලබා දීමට තරම් දක්ෂ වී සිටියහ. දැන් රුසියානු හමුදාවේ ප්‍රධාන බෝම්බ ඉවත් කිරීමේ ඒකකයක් ලෙස ද ඔවුන්ගේ භූමිකාව වර්ධනය වී ඇත. මේ වනවිට මෙම උතුරු කොරියානු සෙබලුන් රුසියානු හමුදාවට විශාල ශක්තියක් වෙමින් සිටී.
කිම් ජොන් අන්ගේ පිළිගැනීම සහ දේශපාලන පසුබිම
දීර්ඝ කාලයක් රහසක්ව පැවති මෙම හමුදා මැදිහත්වීම 2025 අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව විසින් ප්‍රසිද්ධියේ පිළිගනු ලැබීය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මියගිය සෙබළුන් වෙනුවෙන් පියොන්ග්යැන්ග් නුවර ඉදි කළ නව ස්මාරක වෙත ගොස් උපහාර දක්වා ඇති අතර, ඔවුන් “වීරයන්” ලෙස හඳුන්වා දී ඇත. සතුරු ග්‍රහණයට හසු නොවී සිටීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සෙබළුන් පවා එහිදී විශේෂ ඇගයීමට ලක් විය. එහෙත් නිල වශයෙන් උතුරු කොරියාව පිළිගෙන ඇත්තේ සිය ගණනකගේ මරණ පමණක් වන අතර, දකුණු කොරියාව සහ බටහිර රටවල් පවසන්නේ සැබෑ මරණ සංඛ්‍යාව දහස් ගණනක් වන බවය.
රුසියාව සහ උතුරු කොරියාව අතර 2024 වසරේදී අත්සන් කරන ලද අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අනුව මෙම හමුදා සහය ලබා දී ඇත. රුසියාවට සිය සටන් පෙරමුණ ශක්තිමත් කිරීමට අතිරේක මිනිස් බලය අවශ්‍ය වූ අතර, ඒ වෙනුවට උතුරු කොරියාවට නවීන අවි තාක්ෂණය සහ ආර්ථික සහයෝගය රුසියාවෙන් හිමි වේ.
2026 වසරේ වර්තමාන තත්ත්වය අනුව තවමත් උතුරු කොරියානු සෙබළුන් 11,000ක් පමණ රුසියාවේ රැඳී සිටිතිත, තවත් පිරිස් ඉදිරියේදී සටන් බිමට එක්වීමට නියමිත බව වාර්තා වේ.

රහසිගත ගමන් මඟ සහ
මුහුදෙන් සහ ගුවනින් වැටුණු රහස් මාවත
බුද්ධි අංශ වාර්තා සහ චන්ද්‍රිකා ඡායාරූප මඟින් අනාවරණය වී ඇති පරිදි, උතුරු කොරියානු සෙබළුන් රුසියානු යුද පෙරමුණ වෙත රැගෙන යනු ලබන්නේ ඉතා රහසිගත සහ සංකීර්ණ ක්‍රියාවලියක් ඔස්සේය. මෙම ගමන අදියර දෙකකින් සමන්විත වේ. ප්‍රථමයෙන් උතුරු කොරියාවේ වොන්සාන් (Wonsan) හෝ රාජින් (Rajin) වරායවල සිට රුසියානු නාවික හමුදාවට අයත් දැවැන්ත ප්‍රවාහන නෞකා මඟින් සෙබළුන් රුසියාවේ ව්ලැඩිවොස්ටොක් (Vladivostok) හෝ දුනායි (Dunai) වරාය වෙත රැගෙන එනු ලබයි. ඉන් අනතුරුව ඔවුන්ට රුසියානු හමුදා නිල ඇඳුම් සහ උපකරණ ලබා දෙන අතර, ඔවුන් රුසියාවේ ‘ටුවා’ (Tuva) කලාපයේ පදිංචිකරුවන් ලෙස පෙනී සිටින පරිදි ව්‍යාජ හැඳුනුම්පත් ද නිකුත් කෙරේ.
මෙම සෙබළුන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සිට කිලෝමීටර් 7,000ක් පමණ දුරින් පිහිටි බටහිර රුසියාවේ යුද කලාපය වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ ‘ඉල්යුෂින් Il-76’ (Ilyushin Il-76) වර්ගයේ යුද හමුදා ප්‍රවාහන ගුවන් යානා මඟිනි.
කුර්ස්ක් (Kursk) ප්‍රදේශයට ආසන්න පුහුණු කඳවුරු වෙත ගුවනින් රැගෙන එන මෙම පිරිස් අවසානයේ රුසියානු අණදෙන නිලධාරීන් යටතේ සටන් පෙරමුණට යොමු කරනු ලබයි. ඇතැම් කුඩා කණ්ඩායම් දුම්රිය මාර්ග ඔස්සේ ද ප්‍රවාහනය කරන බව වාර්තා වේ.

ස්වේච්ඡා සේවයක් නොව රජයේ නියෝගයක්
මෙම යුද්ධය සඳහා උතුරු කොරියානු සෙබළුන් සහභාගී වන්නේ ස්වේච්ඡාවෙන් ද යන ප්‍රශ්නය ලෝකය හමුවේ පැවතුණ ද, ඒ සඳහා කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැත. උතුරු කොරියාවේ පවතින අනිවාර්ය හමුදා සේවය යටතේ වසර 8ත් 10ත් අතර කාලයක් සේවය කරන මෙම සෙබළුන්, නායක කිම් ජොන් අන්ගේ සෘජු නියෝගයකට අනුව මෙම අනතුරුදායක මෙහෙයුමට එක්ව ඇත. 2025 අප්‍රේල් මාසයේදී උතුරු කොරියානු රජය නිල වශයෙන් ප්‍රකාශ කළේ කුර්ස්ක් ප්‍රදේශය “මුදාගැනීම” සඳහා සෙබළුන් යැවීමට නායකත්වය තීරණය කළ බවය.
යුක්රේන හමුදා භාරයට පත් වූ ඇතැම් උතුරු කොරියානු සෙබළුන් පවසා ඇත්තේ තමන් රුසියාවට රැගෙන ආවේ හුදෙක් පුහුණුවක් සඳහා පමණක් බව තමන් විශ්වාස කළ බවය. රුසියාව විසින් එක් සෙබළෙකු වෙනුවෙන් මසකට ඩොලර් 2,000ක පමණ මුදලක් උතුරු කොරියානු රජයට ගෙවන බව වාර්තා වුවද, එම මුදල සෙබළුන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට ලැබෙන්නේ ද යන්න සැක සහිතය.
රජයේ නියෝගය ප්‍රතික්ෂේප කළහොත් හෝ යුද බිමෙන් පලා ගියහොත් අදාළ සෙබළාගේ පවුලේ සාමාජිකයන්ට දරුණු දඬුවම් විඳීමට සිදුවන පසුබිමක, මෙම සෙබළුන්ගේ සහභාගීත්වය ස්වේච්ඡා තීරණයක් නොව රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක ප්‍රතිඵලයක් බව පැහැදිලි වේ.

කෙසේ වෙතත් මෙම යුද්ධය උතුරු කොරියාවට හුදෙක් දේශපාලන මැදිහත්වීමක් පමණක් නොවේ. එය නවීන යුධ තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ විශාල අවස්ථාවක් ද වී ඇත.
2026 පෙබරවාරි වන විට රුසියාවේ සේවය කළ සෙබළුන් 3,000ක් පමණ නැවත උතුරු කොරියාව බලා ගොස් ඇති අතර, ඔවුන් මේ වන විට එරට හමුදාවේ උපදේශකයන් (Instructors) ලෙස කටයුතු කරමින් සිටිති. නවීන ඩ්‍රෝන තාක්ෂණය සහ විද්‍යුත් යුධ ක්‍රම පිළිබඳව ඔවුන් ලබාගත් මෙම අත්දැකීම් උතුරු කොරියානු හමුදාව නවීකරණය කිරීමට රුසියාව ලබා දෙන තාක්ෂණික සහාය හා සමානවම වැදගත් වනු ඇත. රුසියාවට අවශ්‍ය යුද ශක්තිය ලබා දෙන අතරතුර, උතුරු කොරියාව සිය හමුදාව අනාගත යුද්ධයක් සඳහා සූදානම් සිටී. ඒ වෙනුවෙන් ඔවුන් ගෙවීම් කරන්නේ තරුණ ජීවිත වලිනි.







