ඉරාන ඉස්ලාමීය විප්ලවයේ දිවි පිදූ උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි කමේනිගේ දේහය පිළිබඳ භූමදාන කටයුතු දීර්ඝ අවමංගල උත්සව මාලාවකින් අනතුරුව අලි කමේනි මිය ගොස් දින 131කින් පසු එළඹෙන ජූලි මස 09 වැනිදා සිදුකරන බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඊයේ ( 13 ) දිනයේ දිවි පිදූ උත්තරීතර නායකයාගේ කෘතීන් සුරැකීමේ සහ ප්‍රකාශයට පත් කිරීමේ නිල කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
එම නිල ප්‍රකාශයට අනුව, දිවි පිදූ උත්තරීතර නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ සමුගැනීමේ උත්සව එළඹෙන ජූලි මස 4 වැනිදා සහ 5 වැනිදා යන දිනවලදී ටෙහෙරාන් නුවර පිහිටි ඉමාම් ඛොමේනි මොසල්ලා (Imam Khomeini Mosalla) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඉන් අනතුරුව ජූලි මස 6 වැනිදා ටෙහෙරාන් අගනුවරදී විශේෂ අවමංගල්‍ය පෙරහැරක් පැවැත්වීමට නියමිත අතර, ජූලි මස 7 වැනිදා තවත් ආගමික අවමංගල්‍ය පෙරහැරක් ඉරානයේ ශුද්ධ වූ කොම් (Qom) නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම කාර්යාලය පවසයි.
අයතුල්ලා සෙයියද් අලි කමේනි වෙනුවෙන් පැවැත්වෙන අවසාන නිල අවමංගල්‍ය උත්සවය ජූලි මස 9 වැනිදා ශුද්ධ වූ මෂාද් (Mashhad) නගරයේදී පැවැත්වීමට නියමිතය. මෙම දිනය ඉස්ලාමීය දින දර්ශනයට අනුව ඉමාම් සජ්ජාද් (AS) තුමාණන්ගේ ප්‍රාණ පරිත්‍යාගී සංවත්සර සැමරුම් දිනය යෙදෙන පෙරදිනට සමගාමීව සිදුවීම විශේෂත්වයකි. අවසන් කටයුතුවලින් අනතුරුව දිවි පිදූ උත්තරීතර නායකයාගේ දේහය මෂාද් නුවර පිහිටි ඉමාම් රේසා (Imam Reza – AS) ශුද්ධ වූ සිද්ධස්ථාන පරිශ්‍රයේදී භූමදානය කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය පෙබරවාරි මස 28 දා ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එරෙහිව දියත් කරන ලද හමුදාමය ආක්‍රමණ සහ ප්‍රහාර මාලාවක් අතරතුර, ටෙහෙරාන් නුවර පිහිටි නිල නිවසේදී අයතුල්ලා කමේනි ඉලක්ක කර ගනිමින් ඝාතනයක් සිදු කරන ලදී. එම දරුණු යුදමය වාතාවරණය තුළ ඉරානයේ ඉහළ පෙළේ මිලිටරි අණදෙන නිලධාරීන් සහ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද ඝාතනයට ලක් විය.
මෙම ඝාතනය සිදු වී දින කිහිපයකට පසු, ඉරානයේ ඉහළම ආගමික මණ්ඩලය වන සහ සාමාජික පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත ‘විශේෂඥයින්ගේ කවුන්සිලය’ (Assembly of Experts) විසින් ඉරාන ඉස්ලාමීය විප්ලවයේ තුන්වන උත්තරීතර නායකයා ලෙස 56 හැවිරිදි වියේ පසුවන අයතුල්ලා සෙයියද් මොජ්තබා කමේනි (Ayatollah Seyed Mojtaba Khamenei) ඒකමතිකව තේරී පත් කර ගන්නා ලදී. ඔහු ඝාතනයට ලක්වූ උත්තරීතර නායකයාගේ පුත්‍රයාය.
මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කරන නිලධාරීන් විසින්, දිවි පිදූ උත්තරීතර නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වන ලෙස ඉරානයේ සියලුම ගෞරවනීය ජනතාවට ද, ලෝකවාසී නිදහස් මතධාරී ජනතාවට ද, ඉස්ලාමීය දහම සහ දර්ශනය අනුගමනය කරන අනුගාමිකයන්ට මෙන්ම ඉරාන දේශයට හිතෛෂී සහ ලැදි සියලුම පාර්ශවයන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටියි.







