ශ්‍රියානි විජේසිිංහ –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තනතුරෙන් තමා ඉවත් වන්නේ දේශපාලනය ඒමට නොවන බවත් තමාට හොඳ සිහිකල්පනාවක් තිබෙන බැවින් එම නරාවලට වැටීමට කිසිසේත්ම උත්සාහ නොකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ව්‍යවස්ථාව වෙනස් කරමින් තව දුරටත් තමාට ලේකම් ධූරයේත් සභාපතිවරයාට සභාපති ධූරයේත් රැදී සිටින්නැයි සාමාජිකත්වය කළ ඉල්ලීම පසෙක දමා දේශපාලනඥයින්ටත් ආදර්ශයක් දෙමින් නවකයින්ට ඉඩ ලබා දෙමින් තනතුරු අත් හරින බව වෛද්‍ය අලුත්ගේ පවසයි.
ඉදිරියට සංගමයේ කිසිදු තනතුරක් ලබා නොගන්නා නමුත් සාමාජිකත්වය සමඟ දැනුම් බෙදා ගනිමින් තම අද්දැකීම් බෙදා ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්රයට කළ හැකි උපරිම සේවාව කිරිමට බලාපොරොත්තු වන බව වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.
සංගමයේ ලේකම්වරයා ලෙස වසර 5ක කාලයත් තමාට රැදී සිටීමට සිදු වූ බවත් එම කාලය ඉතා දීර්ඝ එකක් යැයි තමා විශ්වාස කරන බැවින් අලුත් චරිත ඉදිරියට ගෙන ආ යුතු බවත්, තමන් ඉතා සතුටින් සිය තනතුරෙන් ඉවත් වන බවත් හරිත අලුත්ගේ පවසයි.
මේ වන විට සංගමයේ නව සභාපතිවරයා සහ ලේකම්වරයා සංගමයේ නිලවරණ කමිටුව මගින් ලබන 29 වනදා වන විට ප්‍රකාශයට පත්කරනු ඇති බවද පැවසේ.