පරීක්ෂාවට ලක් කරන ඩීසල් වාහන අතුරින් සියයට පනහක්ම මිනිස් සිරුරට අහිතකර අයුරින් කළු දුම් පිටකරන වාහන ලෙස හඳුනාගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය පවසයි.
එම අංශයේ අධ්යක්ෂ දසුන් ගමගේ සඳහන් කරන්නේ, වසරේ මේ දක්වා කාලය තුළ කළු දුම් පිටකරන බවට සැක කෙරෙන වාහන දහසක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති බවයි. ජංගම කණ්ඩායම් යොදවමින් වාහන භාවිතය වැඩි දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කරගනිමින් මෙම පරික්ෂා කිරීම් මේ වන විට දැඩි කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශරීරයට අහිතකර ලෙස මෙලෙස කළු දුම් පිට කරන බවට තහවුරු කරගන්නා වාහන සඳහා එම තත්ත්වය නිවැරදි කරගැනීමට දින 14 ක සහන කාලයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, එම ලබාදෙන කාලය තුළ දෝෂ නිවැරදි කර නොගන්නා වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බවත්, එම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරන බවත් වායු විමෝචන අංශය අවධාරණය කරයි.







