නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ ඇති කරගත් එකඟතාවයක් මත අභිමානවත් නීතිඥ සංගමයේ ගෞරවය පාවා දෙමින් කටයුතු කරන බව මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මන්ත්‍රීවරයා චෝදනා කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතිඥ සංගමය වත්මන්හි කටයුතු කරන්නේ මෙම දේශපාලන ගනුදෙනුව පදනම් කරගෙන බවය.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.
“පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක් කළා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය. ඔහුට එකඟ වෙලා තියෙනවා එළඹෙන පළාත් සභා මැතිවරණය පවත්වන අවස්ථාවේ දී බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ධූරය දෙන්නම්, මේ මැච් එක ගහලා දෙන්න කියලා. රජීව් අමරසූරියට සජිත් ප්‍රේමදාස එහෙම පොරොන්දු වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ යන්නේ දේශපාලන ඩීල් එකක්.”
නීතිඥ සංගමයේ ඉතිහාසය සිහිපත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව එවකට රාජපක්ෂ පාලනය ගෙන ආ ත්‍රාඩ මැදිහත් වීමට එරෙහිවත්, පසුගිය අරගල සමයේ මහජනතාව වෙනුවෙනුත් නීතිඥ සංගමය ඍජුව පෙනී සිටි බවයි.
නමුත් අද වන විට එහි සභාපතිවරයා කුඩා කල්ලියක් සමඟ එක්ව සජිත් ප්‍රේමදාසට විකිණී ඇති බවත්, මහ ඇමති ධූරය වෙනුවෙන් මුළු මහත් නීතිඥ සංගමයේ අරමුණු පාවා දීම සාහසික අපරාධයක් බවත් ඔහු පැවසීය.
සිය කතාව අවසන් කරමින් මන්ත්‍රීවරයා නීතිඥ වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියේ සභාපතිවරයාගේ මහ ඇමති සිහිනය වෙනුවෙන් සමස්ත නීතිඥ වෘත්තියේ කීර්තිමත් ඉතිහාසය පාවා නොදෙන ලෙසත්, මෙම දේශපාලන ක්‍රියාවලියට එරෙහිව අවදි වන ලෙසත් ය.









