ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. සැලසුම් කර ඇති සියලුම මාර්ගවල ඉදිකිරීම් කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙසත්, වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීම වෙනුවෙන් මහජන නියෝජිතයන් සෘජුව මැදිහත් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳව මහජන නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව එක්ව සාකච්ඡා කර කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දුන්නේය. එමෙන්ම, ඒ පිළිබඳව සොයා බලා සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් වහාම ප්‍රදේශයට එවීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ප්‍රධාන මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක්, ජනතාව මුහුණ දෙන පානීය ජල හිඟයට කඩිනම් තාවකාලික විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, ජල සම්පාදන මණ්ඩලය විසින් මේ වන විට සැලසුම් කර තිබෙන සියලුම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරියේදී වෙන් කිරීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.
මේ අතර, මඩකළපුව දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක මාර්ග සහ පාලම් ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. එහිදී ජනාධිපතිවරයා නියෝග කළේ සැලසුම් සහගතව හඳුනාගෙන ඇති සියලුම මාර්ගවල ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව මේ වසරේදීම ආරම්භ කළ යුතු බවයි.
දිස්ත්‍රික්කයේ පවතින දීර්ඝ කාලීන ඉඩම් ගැටලු, වනජීවි කලාපයන්ට අයත් වගා බිම් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුද සහ ඒවාට ලබාදිය හැකි ප්‍රායෝගික විසඳුම් පිළිබඳවද මෙම රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම මයිලත්තමඩු සහ මාදවනෙයි තෘණ භූමියට අදාළව කිරි ගොවීන් ඉදිරිපත් කර තිබෙන දීර්ඝ කාලීන ඉල්ලීම් සහ ගැටලු කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර සහ ඒ සඳහා අත්‍යවශ්‍ය වන ප්රදීපාගාරයක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.
මීට අමතරව, ඉදිරි කාලගුණික තත්ත්වයන් හමුවේ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වන පූර්ව සූදානම, අලි-මිනිස් ගැටුම අවම කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ක්‍රියාකාරිත්වය සහ පවතින ගැටලු මෙන්ම, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සවිස්තරාත්මකව සමාලෝචනයට ලක් කෙරිණි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ වගා බිම් සඳහා වන්දි ගෙවීමේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය, නිවාස හානි සඳහා වන්දි ගෙවීම් සහ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එම කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනම් කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන අන්දම, එහි ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කන්දසාමි ප්‍රභූ, එස්. රාසමානික්‍යම්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ජී. ශ්‍රීනේෂන්, ඉලෙයිතම්බි ශ්‍රීනාත් ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
එමෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මඩකළපුව දිස්ත්‍රික් ලේකම් අරුල් රාජ් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල නියෝජිතයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.







