කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින්

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද සිය සහජ ක්‍රීඩා කෞශල්‍යය විශිෂ්ට ලෙස විදහා පෑමේ අවස්ථාව සිසු සිසුවියන්ට උදා විය. පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් පාසල් හා ක්‍රීඩා ධජ කේබලයක් ආධාරයෙන් ක්‍රීඩාංගණයට රැගෙන ඒම එදින ක්‍රීඩා උළෙලේ විශේෂිතම අංගයක් විය. ක්‍රීඩා උළෙල පාසලේ ෆේස්බුක්, යූටියුබ් ඇතුළු නිල සමාජ මාධ්‍ය ජාල තුළින් සජීවීව විකාශය කිරීමටත් කටයුතු යොදා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ක්‍රීඩා උළෙල පුරා ඩාවින්, අයින්ස්ටයින්, ලින්කන් හා ශේක්ස්පියර් යන නිවාස අතර ඉතා තියුණු තරගයක් පැවති අතර ජයග්‍රහණය වෙනුවෙන් සෑම නිවාසයකම සිසු දරු දැරියෝ සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළහ. තියුණු තරගයකින් පසුව ලකුණු 1128ක් ලැබූ අයින්ස්ටයින් නිවාසය ක්‍රීඩා උළෙලේ ශූරයන් බවට පත් විය. අනුශූරතාව දිනූ ශේක්ස්පියර් නිවාසය ලකුණු 1104ක්ද, ලින්කන් නිවාසය ලකුණු 986ක්ද, ඩාවින් නිවාසය ලකුණු 910ක්ද හිමි කර ගත්තේය. ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඔලිම්පික්, ලෝක හා ආසියානු ක්‍රීඩා තරගාවලි ගණනාවකම පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සුසන්ත ප්‍රනාන්දු මහතා සහභාගී විය. ඔහු වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ධුරය හොබවන අතර පසුගියදා ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමින් පිදුම් ලැබූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණුකරු ලෙස රටට විශාල කීර්තියක් අත් කර දුන්නේය.
මෙම අවස්ථාවට කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ ආරම්භක අධ්‍යක්ෂ ආචාර්ය නිව්ටන් පීරිස්, වර්තමාන සභාපතිනි සැන්ඩ්‍රා බී. වඳුරාගල, කළමනාකාර අධ්‍යක්ෂ රවීනාත් පීරිස්, නියෝජ්‍ය විදුහල්පති ලුතිනන් කර්නල් නිශ්ශංක විජේකෝන් සහ සහකාර විදුහල්පතිවරුන් වන ලුතිනන් කර්නල් සරත් වීරසේකර, උපතිස්ස ජයසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Exit mobile version