න්‍යෂ්ටික බලශක්තියට අපේ ඇත්තන් බය ද?

නිරෝධ රණසිංහ –

ඊයේ රටම අඳුරේ තිබුණේය. රටක බලශක්ති ජනනය හා ස්ථාවර සැපයුමේ වැදගත්කම සම්බන්ධව දැනෙන සුළු සංවාදයක් ඒ සමගම රට තුළ ඇතිවෙමින් තිබේ. මෙවන් පරිසරයක දියුණු බලශක්ති උත්පාදන විභයවන් සම්බන්ධව දැනුවත් වීම ජනතාවක් ලෙස වැදගත්ය.

නූතන ලෝකයේ භාවිත දියුණුම බලශක්ති ප්‍රභවය න්‍යෂ්ටික බලශක්තිය ය. න්‍යෂ්ටික බලශක්තිය ගැන හුඹස් බියක් ඇතිකර නොගෙන එහි විපුලතාවය හා තාක්ෂණික ක්‍රමවේදය සම්බන්ධව නිරවුල් අවබෝධයක් ලබා ගතයුත්තේ ඇයි දැයි විමසීම මේ සටහනේ අරමුණය.

න්‍යෂ්ටික බලාගාරයක තිබෙන ඉහළම ස්ථාවර බව, පරිසර හිතකාමී බව, අවම භූමි පරිභෝජනය සහ අඩු ජනන වියදම ආදී සියල්ල පසෙක තිබ්බත් රටක් ලෙස න්‍යෂ්ටික තාක්ෂණය වෙනුවෙන් අරගල කිරීමට හේතු ගණනාවක් තිබේ.  පහත දැක්වෙන්නේ ඉන් කීපයකි.


  1. තාක්ෂණික දියුණු බව – න්‍යෂ්ටික බලාගාරයක් යනු තාක්ෂණික වශයෙන් ඉතාම සංකීර්ණ, විචිත්‍ර සංකල්ප සමුදායයක් හා බැඳුනු තාක්ෂණික ක්‍රමවේදයකි. ඒක ඉගෙන ගැනීමෙන්, අපේ දරුවන්ට නිරවුල් ව ඉගැන්වීමෙන් සහ ඒ ආශ්‍රිතව දැනුම නිර්මාණය කිරීමට අපේ දරුවන් පෙළඹවීමෙන් අපට කිසිදිනෙක අයහපතක් වන්නේ නැත.
  2. බහුකාර්‍ය බව – මෙය ප්‍රධාන හේතුවලින් එකකි.  න්‍යෂ්ටික බලාගාරයක් යනු නිකම්ම නිකම් විදුලි ජනකයක් නොවේ. ලෝකයේ බොහෝ තැන් වල ඒවා ක්‍රියාත්මක වෙන්නෙ බහුකාර්‍ය අරමුණු ගණනාවක් වෙනුවෙනි. උදාහරණයක් ලෙස මේ බලාගාරවල හැදෙන අවශේෂ තාපයෙන් පමණක් (විදුලිය නොමැතිව) විශාල වශයෙන් මුහුදු ජලය පිරිපහදු කර පානීය ජලය හදාගත හැකිය. අපට කිට්ටුවෙන් ඉන්දියාවෙ ඇති කුඩන්කුලම්  න්‍යෂ්ටික බලාගාරයෙන් මේ ආකාරයට පැයකට ජලය ලීටර් 400,000ක් පිරිපහදු කෙරේ. එසේම තව යෙදවීමක් වන්නේ අපජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමය. උදාහරණයක් ලෙස ඇරිසෝනා වල ඇති පාලෝ වාර්ඩි න්‍යෂ්ටික බලාගාරය තමන්ට අවශ්‍ය සම්පූර්ණ ජල සැපයුම සපයාගන්නේ ඒ ආශ්‍රිත නගර වල අපජල සැපයුම ප්‍රතිචක්‍රීකරණය කිරීමෙනි. එසේ කර ඔවුන් විදුලි ඒකකයක් නිපදවන්නේ    ඩොලර් සත 2ක (රුපියල් 4ක්) පමණ මිලකටය.

තවත් මෙවැනිම  යෙදීමක් වන්නේ වෛද්‍ය විද්‍යාත්මක යෙදීම්ය. බලශක්ති උත්පාදනය සේම පිළිකා ප්‍රතිකර්ම විධි සඳහා යොදාගන්නා විකිරණශීලී ඖෂධ නිෂ්පාදනය කිරීමටත් මේ ඇතැම් න්‍යෂ්ටික විදුලි බලාගාර වලට හැකිය. රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් න්‍යෂ්ටික බලාගාරය මේ සඳහා උදාහරණයකි.

ද්‍රව්‍යවල අගයන් වැඩිදියුණු කිරීම න්‍යෂ්ටික බලාගාරයක තවත් එක් අතුරු ඵලයකි. න්‍යෂ්ටික බලාගාරයක් යනු  අර්ධ සන්නායක ඉහළම සාර්ථකත්වයක් සහිතව නිශ්පාදනය කළ හැකි  තැනකි. ලෝකේ ඉහළම තත්ත්වයෙන් යුතු අර්ධ සන්නායක මාත්‍රණය කෙරෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුළය. ඔබගේ ජංගම දුරකථනවල,   පරිගණකවල ක්ෂුද්‍ර සැකසුම් චිප ඔය මට්ටමට දියුණු වූයේ ඉබේම නොවේ.

  1. වෛද්‍ය යෙදීම් – න්‍යෂ්ටික තාක්ෂණය යනු වෛද්‍ය යෙදීම් සඳහා අනර්ඝ මෙවලමකි. විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකර්ම සඳහා න්‍යෂ්ටික තාක්ෂණය තරම් සාර්ථක වෙනත් ප්‍රතිකර්ම නැති තරම්. මේ අතරිනුත්, ප්‍රෝටෝන ප්‍රතිකර්ම, නියුට්‍රෝන ප්‍රතිකර්ම, බෝරෝන් නියුට්‍රෝන ග්‍රාහක ප්‍රතිකර්ම සහ බැර අයන ප්‍රතිකර්ම වැනි අතිශය ඉහළ නිරවද්‍යතාවන් සහිත ක්‍රමවේද සියල්ල න්‍යෂ්ටික තාක්ෂණය හා බැඳුණු ඒවාය. ලෝකයේ ඉහළම ප්‍රතිකර්ම තාක්ෂණය ප්‍රංශය ලබාගෙන තිබෙන්නේ ඔවුන්ගේ අතිශය දියුණු න්‍යෂ්ටික බලාගාර තාක්ෂණයට පින් සිද්ධ වන්නටය.
  2. අවශේෂ ක්ෂේත්‍ර වල දියුණුව – න්‍යෂ්ටික තාක්ෂණය කියන්නේම හුදෙකලා තාක්ෂණික ක්‍රමවේදයක් නොවේ. ඒක නිසා රටක් න්‍යෂ්ටික තාක්ෂණය වෙත යනවිට පූර්වයෙන් ගොඩනගා ගන්න ඇවැසි ක්ෂේත්‍ර 19ක් පමණ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතානායතනයෙන් දක්වා ඇත. යටිතල පහසුකම්, ප්‍රවාහනය, වෛද්‍ය ක්ෂේත්‍රය, කර්මාන්ත, මානව සම්පත්, අධ්‍යාපනයේ සිට විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය, ඉලෙක්ට්‍රොනික මිනුම්කරණය දක්වා සෑම ක්ෂේත්‍රයක්ම මේ යටතේ ඊට සමගාමීව සංවර්ධනය වේ. මෙය හිතාගන්නත් බැරි තරම් වැදගත් ප්‍රගමනයකි.
  3. සුරක්ෂිතතාව – ලෝකයේ ඇති ප්‍රතික්‍රියාකාරක 450කින් දෙකක සිදු වූ සිදුවීම් දෙකක් නිසා චර්නොබිල්, ෆුකුෂිමා ගගා න්‍යෂ්ටික තාක්ෂණයට එරෙහි වුව ද අද වනතුරු ලෝකයේ ඇති සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව අතින් ඉහළම බලාගාර වෙන්නෙ න්‍යෂ්ටික බලාගාරය. මේ සමග පහත දක්වා ඇති  ඇමුණුමේ ඇත්තේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ දී ඒ ඒ ප්‍රභවයෙන්ගෙන් සිදු වී ඇති ජීවිත හානි සංඛ්‍යාවය. ඍජු හා වක්‍ර හානි රැගෙන තක්සේරු කළත්  න්‍යෂ්ටික බලාගාර ඇත්තේ පහළ ම තැනය.
  4. මානව සම්පත් සංවර්ධනය – න්‍යෂ්ටික තාක්ෂණය නිසා දැනුමේ සිද්ධවන ප්‍රගමනය පසෙකින් තැබුව ද, න්‍යෂ්ටික තාක්ෂණය යනු ඉහළම ගණයේ විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන් සහ කළමණාකරුවන් අවශ්‍ය වෙන තැනකි. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක පුනරාවර්තන වියදම් (එදිනෙදා වියදම්) වලින් වැඩිම ප්‍රමාණය යන්නේ සේවක වැටුප් සඳහා. මක්නිසාද යත් මේ ක්ෂේත්‍රයේ මානව සම්පත් අගය අතිශයින් ඉහළ බැවිනි. එසේම න්‍යෂ්ටික බලාගාරයක් සඳහා සේවකයන් 1000-2000 අතර පිරිසක් අවශ්‍යය. මේ හැමෝම රටකට වටිනා සම්පත්ය.

මේ රටට න්‍යෂ්ටික බලාගාරයක වැදගත්කම සඳහා ඉදිරිපත් කළ හැකි හේතු කීපයක් පමණි. තවත් බොහෝ හේතු මීට පරිබාහිරව තිබේ. අපේ රටේ පවතින සමාජ-ආර්ථික ප්‍රශ්න විශාල ප්‍රමාණයකට විසඳුම් මේ තනි තාක්ෂණික කතාව තුළ තිබේ. විශේෂයෙන්ම අපේ වියළි කලාපය පෙළන පානීය ජල ප්‍රශ්නය දැක්විය හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් න්‍යෂ්ටික බලාගාර හෝ න්‍යෂ්ටික තාක්ෂණය යනු හුදකලා විදුලි ජනක ව්‍යාපෘතියක් ලෙස   ලඝු කළ යුතු නැත. න්‍යෂ්ටික තාක්ෂණය රටට රැගෙන එනවාද නැද්ද යන්නෙහි තීන්දුව එය ස්ථාපිත කිරීමට පදනම්වන පිරිවැය සහිත  මූල්‍යමය සාධක මත පමණක් තක්සේරු නොකළ යුත්තේ එබැවිනි. මේ සම්බන්ධව ජාතික වශයෙන් සංවාදයක් ඇතිවිය යුත්තේ එබැවිනි.

 

 

 

Exit mobile version