හෙද ඉල්ලීම් ගැන රත්නප්‍රියලාගෙනුත් වර්ජන තර්ජනයක්

හෙද සේවාවේ නියුතු අයගේ සේවා අවශ්‍යතා ඉටු නොකරන සියලු රෝහල්වල ඉදිරියේ දී වැඩ වර්ජන දියත් කිරීමට තීරණය කර තිබෙන බව රජයේ හෙද සංගමයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ලංකාසරට පැවසීය.

පසුගිය සතියේ මාතර, ගම්පහ සහ ඉංගිරිය රෝහල් වල වැඩ වර්ජන දියත් කළ බවත් ඉදිරියේදී රටපුරා රෝහල්වල වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ජීවිත අවදානම නොතකා කොරෝනා වසංගතය හමුවේ රාජකාරි කටයුතුවල නියැලී සිටින හෙද කාර්ය මණ්ඩලවලට ආරක්ෂක ඇඳුමක් ඔවුන්ගේ ආහාරපාන ගමන් පහසුකම් ඇතුළු ඉල්ලීම් කීපයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව රත්නප්‍රිය මහතා පවසයි.


ඇතැම් රෝහල්වල සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලවලට කිසිම පහසුකමක් හෝ විවේකයක් ලබා නොදෙන බව පවසන ඒ මහතා එලෙස අවශ්‍ය පහසුකම් හා විවේකය ලබා නොදෙන්නේ නම් ඔවුන්ගේ සේවය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙද සේවාවේ නියුතුවූවන්ගේ ඉල්ලීම් සම්බන්ධව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග ද තම සංගමය සාකච්ඡා කර සාධාරණ කිරීම් කිහිපයක් රජය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙනු ඇතැයි තවදුරටත් තම සංගමය විශ්වාස කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version