හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

Anura Dissanayaka

ජුලි මස 05 වැනිදා හෝ 6 වැනිදා   උතුරේ, නැගෙනහිර හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත යැවූ ලිපියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රශ්න කළේය.

අද (04) විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ එම ලිපියට අනුව ජාත්‍යන්තර ඔත්තු සේවා ආයතනවල මැදිහත්වීමෙන් එම දින දෙකේදී පැවැත්වීමට නියමිත කළු කොටි සැමරුම් උත්සව ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති බවය.

ආරක්‍ෂක ලේකම්වරයා වෙත යොමු කරන ලද ලේඛනයක කොටස් කියවූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක කියා සිටියේ මෙම කාලය තුළ කිසිදු උත්සවයකට සහභාගී වීමෙන් වළකින ලෙස උතුරු නැගෙනහිර ජාත්‍යන්තර සංවිධානවලට අනුයුක්ත නිලධාරීන්ට සහ මහජනතාවට එම ලේඛනය මගින් අවවාද කරන බවයි.

එවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබේ නම්  එම තොරතුරු ලබාගෙන ඇත්තේ කෙසේද සහ කොතැනින්ද යන්න හෙළි කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට රට පුරා පවතින ආණ්ඩු විරෝධී විරෝධතා සහ හැඟීම් යටපත් කිරීමට මෙවැනි ප්‍රවෘත්ති හුවමාරු වන බවට ද සැකයක් පවතින බව දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version