හෙට දුම්රිය ධාවනය නෑ… වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පැමිණි දුම්රිය ස්ථානාධිපතිවරු මගීන්ට කියති.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද (12) රාත්‍රී 12.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එබැවින් හෙට  දින ගමනා ගමනය සඳහා දුම්රිය භාවිත නොකරන ලෙස එම සංගමය මගීන්ගෙන් ඉල්ලා සිටී.

කොවිඩ් ආසාදිතයන් 93 දෙනෙක් වාර්තා වී තිබිය දීත් රාජකාරි කිරීම සඳහා වගකීම් සහගත පරිසරයක් නිර්මාණය නොකර දුම්රිය ස්ථානාධිපතිවරුන්, කාර්ය මණ්ඩලය හා මගීන් කොවිඩ් ආසාදිතයන් බවට පත්කිරීමට එරෙහිව  මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමය කියයි.


ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවනයට සම්බන්ධ මගීන් හා සෘජුවම සම්බන්ධ වන  ප්‍රධානතම උප දෙපාර්තමේන්තුව ප්‍රවාහන  උප දෙපාර්තමේන්තුව වේ. ඊට අයත් වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමක මහත්වරුන් හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය වේ.

එහි මේ වන විටත් ආසාදිතයින් 93ක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම තබා අදාල තොරතුරු හෝ දෙපාර්තමේන්තුව සතුව නොමැත.

ආසාදිතයින් වාර්තා වූ ඇතැම් දුම්රිය ස්ථාන වල ආසදිත සේවකයා ඉවත්කර ඉතිරි ආශ්‍රිත සේවකයින් යොදාගෙන සේවය පවත්වාගෙන යාමටද ඇතැම් අවස්ථාවලදී උපදෙස් ලැබී ඇත.

“නිවෙස් නිරෝධායනය” රජයෙන් අනුමත කර ඇති තත්වයක් යටතේ ඌණ උපයෝජිත සම්පත් උපයෝජනය කරගනිමින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.  ඒ සඳහා සම්පත් ලෙස දෙපාර්තමේන්තුව සතුව ඇති දුම්රිය විවේක කාමර සහ නිවාඩු නිකේතන වල එක් වරකට රෝගීන් 200 කට පමණ පහසුවෙන් නවාතැන් ලබාදිය හැක.

අන්තර් පලාත් සීමා දැඩි කරන ලෙස රජයෙන් උපදෙස් ලබා දුන්නද ඒ සඳහා කිසිඳු වැඩපිළිවෙළක් බලධාරීන් සතුව නොමැත.

තත්වය එසේ පැවතියද නිලධාරීන් හෝ ඇතැම් ශ්‍රේණීන්ගේ ආසදිතයින් ලෙස වාර්තා  වූ අවස්ථා වලදී ඉතාමත් යුහුසුළුව , ක්‍රමවත්ව කටයුතු කරනු ලබයි.

මේ හරහා අවසානයේ සිදුවන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා එහි කාර්‍යමණ්ඩලය ආසදනය වීමත් එහි අවසාන ප්‍රතිඵලය ලෙස මගීන් කොරෝනා බෙදාහරින රෝග වාහකයින් බවට පත්වීමත්‍ ය.

උක්ත කරුණු සම්බන්ධයෙන් සාධණීය මැදිහත්වීමක් රජය, අමාත්‍යංශය හෝ දෙපාර්තමේන්තුව මට්ටමින් ලබාගන්නා ලෙස බලකරමින් මෙසේ සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලැඹෙන අතරම ඉදිරියේදී අනෙකුත් වෘත්තීය සමිති සමඟද සාකච්ඡා කොට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා මෙහෙයවන බව සඳහන් කරමු.

හෙටදින දුම්රියන් ධාවනය නොවන බැවින් දුම්රිය භාවිත නොකරන ලෙසටත් සෞඛ්‍යාරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරන ලෙසටත් මගී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

ප්‍රධාන ලේකම්තුමා ,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

Exit mobile version