හෘදයාබාධයකට ලක් වූ රියදුරුගේ පාලනයෙන් මිදුනු බස් රිය නවතාගෙන ජීවිත 70ක් බේරා ගත් නම නොදත් වීරයා….

බසය මහනුවර සිට කොළඹ බලා ගමන් කරමින් තිබිණි. සියලුම ආසන පිරී ගොස්ය. තවත් තිහක් පමණ දෙනා ඉඳගෙන සිටිති. බස් රිය පේරාදෙණිය පසුකර ගමන් කරමින් තිබුණේය.

එක්වරම බස් රථය  පාර පුරා ගමන් කරන ආකාරයක් දැනුණි. ඉදිරියේ සිටි මගීහු මරලතෝනි දෙන්නට වූහ. බැලූ විට එක්වරම පෙනී ගියේ රියදුරු අසුනේ පැත්තකට ඇලවී සිහි විසඥ වී සිටින රියදුරුය. බස් රිය රියදුරුගේ පාලනයෙන් ගිලිහී තිබිණි.

මර බියෙන් බස් රථය  එකම ගාලගෝට්ටියක් වනවිට එක්වරම පා පුවරුවේ සිටි තරුණයෙක් අඩි දෙකට තුනට රියදුරු අසුන අසලට පැන්නේය. රියදුරු අසුන මතය. ඔහු දෙකට නැවී අතින් තිරිංග තද කළේය. එක්වරම බස් රිය ගැස්සී නැවතිනි.

රියදුරු වහාම රෝහල වෙත රැගෙන ගියේය. රැගෙන ගොස්සි පැය දෙකකින් ඔහු මිය ගියේය. සිද්ධිය හෙළි වන්නේ  අද (05) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවති එම රියදුරාගේ  මරණ පරීක්ෂණයේ දී ය.


බස් ‍ඊයේ (04) රාත්‍රියේ මෙසේ අවසානාවන්ත ලෙස මිය ගොස් සිටියේ චමින්ද ප්‍රභාත් සරත්චන්ද්‍ර (49) නැමැති කිඳගම්මුල්ල ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙකි.  ඔහු මෙම බස් රථයේ හිමිකරුය.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි නිලන්ති නීලවල   විසින් පවත්වනු ලැබූ අතර හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව තිබෙන බව ට ඇය තීරණය කර තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන  හමුවේ මරණ පරීක්ෂණය පැවැති අතර පේරාදෙණිය රෝහල් පොලීසියේ පොලිස් සැරයන් 32888 ජයලත්  විසින් සාක්කි මෙහෙයවනු ලැබීය.

සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී තුෂාර ප්‍රදීප් වීරකෝන්  මෙසේ කීවේය.

හවස වැඩ ඇරිලා 6.40 ට විතර මම පේරාදෙණියෙන් බස් රථයට නැග්ගා. කිරිබත්කුඹුර කිට්ටුවට යනකොට බස් එකේ සියලු ආසන පිරී ගොස් තවත් 30 නෙකු පමණ හිටගෙන හිටියා. එක පාරටම කෑගසන ශබ්දයක් ආවා. මම ඉදිරියට ගිහින් බලනකොට රියදුරු අසුනේ සිටි පුද්ගලයා පැත්තකට ඇලවෙලා ඉන්නවා දැක්කා. බස් එක ඔහු ගේ පාලනයෙන් මිදී ඉදිරියට යමින් තිබුණා. ඒත් එක්කම පාපුවරුවේ හිටපු කෙනෙක් ඇවිත් රියදුරු අසුන දෙසට බරවී අතින් තිරිංග තද කරලා බස් එක නතර කළා.

බස් එකේ වෛද්‍යවරයෙක් හිටියා. එතුමා මූලික ප්‍රතිකාර ලබා දී ඉක්මනින් ලෙඩා රෝහලට අරන් යන්න කිව්වා. මම ත්‍රිරෝද රථයකින් ඔහුව පේරාදෙණියට අරන් ආවා. පැය කිහිපයකට පසු ඔහු මියගිය බව දැන ගන්නා ලැබුණා. තවත් විනාඩි 15 ක හෝ 20 කාලයකක දී සාමාන්‍යයෙන් මෙම බස් රථය කඩුගන්නාව බෑවුම ආසන්නයට ළඟා වෙනවා. ඒ අවස්ථාවේ රියදුරු මෙලෙස අසනීප වූයේ නම් විශාල ව්‍යසනයක් සිදුවීමට ඉඩ තිබුණා.

සාක්කි ලබා ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය කල් තබමින් වැඩිදුර සාක්කි සඳහා ප්‍රවාහන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාරවරයා කැඳවන ලෙස හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන  පොලීසියට නියෝග කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි දී සාක්කි දුන් මියගිය බස් රියදුරු ගේ බිරිඳ වන වේරගොඩ විදානලාගේ සුරේන්ද්‍රා (48)  මෙයට පෙර හෘදයාබාධයකට ලක්ව සිදුකළ පරීක්ෂණයකින් පසු තම සැමියාට එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණු බවත් ඒ පිළිබඳව ඔහු එතරම් උනන්දුවක් නොදැක් වූ බවත් පැවසුවාය.

Exit mobile version