හාල්- සීනි මිල මෙල්ල කරන්නත් හදිසි නීතිය ඕනේද?- විපක්ෂ නායක අසයි

sajith premadasa

භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි සම්පූර්ණ බොරුවක් මවාපාමින් ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එය සහමුලින්ම ආණ්ඩුවේ වැරදි සහ නොහැකියාවන් වසා ගැනීම සඳහා ගෙන එනු ලැබූ අත්තනෝමතික ක්‍රියාවලියක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතම අද(02) මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

2003 අංක 9 දරණ පාරිභෝගික පනත හරහා ඒ කටයුත්ත මැනවින් සිදු කර ගැනීමේ හැකියාව ඇතත් කඩිමුඩියේ ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමෙන් තහවුරු වන්නේ ඊට වඩා භයානක කටයුත්තකට ආණ්ඩුව අර අදිමින් සිටින බවද ඒ මහතා පැවසීය.


ආණ්ඩුවේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට , ඒකාධිපතිත්වයකට යොමු කරමින් අත්තනෝමතික ලෙස මානව හිමිකම්වලට පවා අභියෝග කිරීම බව පැහැදිලි වන්නේ යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

ආණ්ඩුව හදිසි නීතිය ගෙන ආ පලියට මෙරට ආසාධිතයින් ප්‍රමාණය අඩු වෙන්නේ නැති බවත්, අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙන්නේ නැති බවත්,කොරෝනා මර්දනය කිරීම සඳහා හදිසි නීතියෙන් සහයක් ලැබෙන්නේ නැති බවත් හෙතෙම කීය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ භාණ්ඩ මිල හෝ විදේශ සංචිත ප්‍රමාණය හෝ පාලනය කර ගැනීමට බැරි ආණ්ඩුවකට හදිසි නීතිය අවශ්‍ය වන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් බවය.

ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හරවමින් ඒකාධිපති ගමනකට අරඅඳින මෙම හදිසි නීති ගැසට්ටුව වහාම ආපසු හරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා කීය.

පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට පාරිභෝගික පනත සක්‍රීය කරන ලෙසත් ඒ හරහා පාරිභෝගික භාණ්ඩ සඟවාගෙන සිටින පුද්ගලයින්ට දැඩි දඩුවම් පමුණුවනු ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හදිසි නීතිය ගෙන ඒමේ ක්‍රියාවලියට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහමුලින්ම විරුද්ධ බවද ඒ මහතා පැවසීය .

Exit mobile version