හය වරක් අගමැති – ඉතිහාසගත වෙමින් රනිල් යළිත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි…

නව අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස කොළඹ ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස දිවුරුම් දුන්නේ ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26 වැනි අග්‍රමාත්‍යවරයා ලෙසය.

පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය මත පසුගිය මැයි 09 වැනිද සඳුදා සවස මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූයේය. ඉන් පසුව සමස්ත කැබිනට් මණ්ඩලයම ඉවත් විය.  එයින් පසුව ජනාධිපතිවරයා විසින් දේශපාලන පක්ෂවලට රජය භාර ගන්නා ලෙස ආරාධනය කළේය.  ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතා බහ අතර පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනයකින් පත්ව පැමිණි රනිල් වික්‍රමසිංහ ඊයේ ජනාධිපතිවරයා හමුවී තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර  මන්ත්‍රිරුන් ගේ කැමැත්ත පවතින බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අද අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරිනි. අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසුව ඔහු නව කැබිනට් මණ්ඩලයක්ද ඉක්මනින්ම පත් කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

 මීට පෙර පස් වතාවක් ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ  රනිල් වික්‍රමසිංහ   1973 දී තරුණයකු ලෙස දේශපාලනයට එක්ව බියගම ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයට තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ‍යේය.    එයින් පසුව යෞවන කටයුතු රැකී රක්ෂා , අධ්‍යාපන ඇතුළු අමාත්‍ය ධුර රැසක වගකීම් දැරූ වික්‍රමසිංහ   මුලින්ම  අගමැති  ධුරයට පත්වන්නේ 1993 මැයි මාසයේදී ය. ඒ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස   ගේ හදිසි අභාවයෙන් පසුව එවකට අගමැති ඩී.බී විජේතුංග   ජනාධිපතිවරයා ලෙස පත්වීමන් පසුවය.


එයින් පසුව 2003 වසරේදීත් 2015 වසරේදී දෙවතාවක්ද අගමැතිවරයා ලෙසින් පත්වූ ඔහු පස්වැනි වතාවට අගමැතිවරයා ලෙස පත්වන්නේ 2018 ඔක්තෝබර් මාසයේ මතුවූ දින 52 ව්‍යවස්ථා අර්බුදය මැද නීත්‍යනුකූල නොවන ලෙස පත්වූ  අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඉවත් වීමත් සමඟය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව හය වැනි වරට අද ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.

Exit mobile version