හමුදාපති ආයතන ප්‍රධානියෙක්… ආණ්ඩුවක බලය කමිටුවකට දෙන්න එපා… රනිල් පාර්ලිමේන්තුවේ දී කියයි…

මුදල් ඇමති මුදල් රාජ්‍ය ඇමති ඉද්දි හමුදාපති ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවලටත් යනවා... සමහරු නැගිටලා ගියා..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශාල ජනවරමක් ලබා පත්වුණු නීත්‍යානුකූළ ආණ්ඩුවක් ව්‍යවස්ථාවෙන් කැබිනට් මණ්ඩලයට ලැබුණු බලය ජාතික ප්‍රශන්යක් මෙහෙයවීම සඳහා ආයතන ප්‍රධානියෙක් මුල් වුණු කමිටුවකට පවරා ඇත්තේ කුමණ සුදුසුකමක් මත දැයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

මේ කාර්ය සාධක බලකාය මුලුමනින්ම අසාර්ථක බව කී රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ හමුදාපති ආයතන ප්‍රධානියෙක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මිල්ටරි බලය දායක කරගන්නේ කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලයෙන් පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාව විසින් ලබා දුන් බලතල පාවිච්චි කිරීමට නොව යුද්ධ කිරීමට බවත් පෙන්වා දුන්නේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

මේ රටේ දැවැන්ත ආර්ථික බිඳ වැටීමට හේතුව කොවිඩ් වසංගතය. අපි මොනවද කොවිඩ් වසංගතයට කරලා තියෙන්නේ. එකක් පැහැදිලිවම කිව යුතුයි. කොවිඩ් පාලනයට පත් කර ඇති මේ කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. කොවිඩ් පටන් ගත්ත දවසෙ ඉඳළ අද වෙනකම් වෙච්චි දේ සෞඛ්‍ය ඇමති තුමියගේ කතාවට ඇහුම්කන් දුන්නාම තේරෙනවා.

මොකක්ද අපි මේ කරන්නේ. මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බෑ. අපි අසාර්ථක වෙලා තියෙන්නෙ.

අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕන කැබිනට් මණ්ඩලයටයි කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි.

ඇයි කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථාවෙ 3වන වගන්තියෙන්, 4වැනි වගන්තියෙන්, 43 වගන්තියෙන් දීලා තියන බලය පාවිච්චි කරන්නෙ නැත්තෙ. ව්‍යවස්ථානුකූලව මේ ආණ්ඩුව පාලනය කරන්න පුලුවන් කමිටුවකට නොවෙයි, කැබිනට් මණ්ඩලයට පමණයි.

කැබිනට් මණ්ඩලයත් මෙතන ඉන්නවා. ඇමතිවරුත් මෙතන ඉන්නව. අගමැති තුමනි. ඔබතුමා මේ වගකීම බාරගන්න. ඔබතුමා වැරදි වුනොත් අපට පුලුවන් මෙතන ඇවිත් කෑ ගහන්න. මෙතන පෝස්ටර් උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට බාර නොදෙන්නෙ.

අනෙක සෑම රටකම කොවිඩ් පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. ලංකාවෙ ඒක නෑ. . ඇයි මේ සියල්ල එක කොමිටියකට දෙන්නෙ.

ඒ කොමිටිය භාර දීල තියෙන්නෙ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට. හමුදාපති කියන්නෙ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොමද එතුමා මේ කටයුතුත්ත කරන්නෙ. ලේකම්වරයෙකුට නියෝග දෙන්න පුලුවන් ඇමතිවරයෙකුට හෝ කැබිනට් මණ්ඩලයට පමණයි. ආයතන ප්‍රධානීන්ට නියෝග දෙන්නෙ ලේකම්වරු ඇමතිවරුන්ගේ උපදෙස් අනුව.

ඇයි මේ බලතල ක්‍රියාත්ම නොවෙන්නේ. අපි කියන්නෙ ඔබතුමන්ලාට ව්‍යවස්ථාවෙන් තිබෙන ඒ බලය අරන් එහි නායකත්වය ගන්න.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් දේශපාලන අධිකාරිය. ඒ කියන්නෙ කැබිනට් මණ්ඩලය. සිවිල් බලය. ඉන් ලේකම්වරු සිට පහළට නිරූපණය වෙනවා. අනෙක මිල්ටරි බලය. ඒ හමුදාව යුද්ධයකට යොදවන එක. දැන් සිද්ධවෙලා තියෙන්නෙ මිල්ටරි බලය අරගෙන රට පාලනය කරනවා. එය කරන්න බෑ. ඒ්ක වැරදියි.

දැන් කොවිඩ් විතරක් නෙමෙයි. පසුගිය දා ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවට මුදල් ඇමතිතුමා ඉන්න තිබුණා. නැතිනම් රාජ්‍ය ඇමතිතුමා ඉන්න තිබුණා. ඒ මැදට ඇවිත් හමුදාපති කතා කරනවා. ඒක දැක්කම හිටපු අයත් ගියා.

මට හමුදාපති එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ යන්නෙ වැරදි තැනකට. ඔබතුමන්ලා මේ බලය ගන්න ඕන. ජනතාව ඔබතුමන්ලාට මේ ජනවරම දුන්නා. ඒ ගැන විවාද කරන්න අපට බෑ. ඒ ජනවරම යොදාගන්නේ නැතිව ඔබතුමන්ලා මිල්ටරි ගමනක් යනවා.

අපේ දේශපාලන විරුද්ධවාදීකම් තියනවා. ඒත් අපේ මොන ප්‍රශ්න තිබුණත් ව්‍යවස්ථාව අනුව කැබිනට් එක තමයි තීන්දු ගන්න ඕන. ඒව විවේචනය කරන්න අපට පුලුවන්. කැබිනට් මණ්ඩලය වගකීම් අත්හැරීම, ජනවරම නැති කිරීම, ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම ගැන විවාදයක් දෙන්න.

Exit mobile version