හන්තානේ අක්කර සීයක් බිරිඳට දුන් ඇමතිගේ තොරතුරු හෙට එළියට

කෘෂිකර්ම අමාත්‍ය අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී කියයි

පසුගිය රජයේ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයකු ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර හන්තාන වත්තේ අක්කර සියයක් තමන්ගේ බිරිඳගේ නමට ලබා දී ඇති බවත් එම ඉඩම් ලබා දී ඇත්තේ කිසිදු රජයේ තක්සේරුවකට අනුව නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ජනවසමට සහ රාජ්‍ය වැලි සංස්ථාවට අයත් දේපළ 150ක් මේ අයුරින් පසුගිය රජය සමයේ කිසිදු තක්සේරුකරණයකින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව විවිධ පුද්ගලයන් අතට ලබා දී ඇති අතර මේ දේපළ පිළිබඳ සියලු තොරතුරු නම් ගම් සහිතව හෙට දිනයේ දී පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද උදෑසන අයවැය විවාදයේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේ දී විපක්ෂ මන්ත්‍රි වේලු කුමාර් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


අලුත්ගමගේ අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ ඉතා අඩු තක්සේරු වටිනාකම්වලට දේපළ කුලියට ලබා දී ඇති බවය.

කොළඹ ඩාලි පාරේ හැටන් නැෂනල් බැංකුව ඉදිරිපිට දේපළක් පෞද්ගලික අංශයට වර්ග අංශයට ලබා දී ඇත්තේ රුපියල් 13කට බවත් එය රජයේ තක්සේරු වටිනාකම වර්ග අඩියකට රුපියල් 183ක් වන බවද ඔහු සඳහන් කළේය. එසේම නාවලපිටියේ අක්කර පන්සියයක තේ වත්තක් තේ කර්මාන්ත ශාලාවක් සහ මෙගවොට් දෙකක ක්ෂුද්‍ර විදුලි බලාගාරයක් මාසයක රුපියල් 8000කට බද්දට ලබා දී ඇති බව ද හෙළි කළේය.

තමන් අමාත්‍යවරයා ලෙස මෙම ගිවිසුම් සියල්ල අවලංගු කිරිමට කටයුතු කළ බවද සඳහන් කළ අතර පසුගිය වසර හතක කාලය තුළ ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව පාඩු පිට පවත්වාගෙන ගිය අතර ජනවසම සේවකයන්ට වැටුප් පවා ගෙවන්නට සිදුව තිබුණේ රජයෙන් බවය.

මේ වනවිට භාණ්ඩාගාරයෙන් මෙම ආයතනවල ශත පහක්වත් නොගන්නා බව පැවසූ අමාත්‍යවරයා මෙම වසරේ දෙසැම්බර් 31 වනිදා වනවිට වනවිට මෙම ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා තවදුරටත් එහිදී සඳහන් කළ අතර ඊට හේතුව ලෙස ඔහු පේනවා දුන්නේ මෙම ආයතනයවල සභාපතිත්වයට ජනාධිපතිවරයා විසින් නිසි දැනුමැති සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම නිසා බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ ප්‍රශ්න පිළිතුර අවසානයේ ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හේෂා විතානගේ තම ආණ්ඩුව ඉක්මනට ගෙදර යාමට දායක වූ එවැනි ඇමතිවරුන් සහ අදාල දේපළ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් සභාගත කරන ලෙස ඉල්ලා සිටි අතර මහින්දානන්ද අමාත්‍යවරයා  එහිදී  ප්‍රකාශ කළේ මෙම සියලු තොරතුරු සවිස්තරව හෙට දිනයේදී සභාගත කරන බවය.

Exit mobile version