හදිසි නීතිය වැඩිකල් තියාගන්න රජයේ අදහසක් නෑ

පාරිභෝගික ආරක්ෂක පනත යටතේ තිබෙන යම් විධිවිධාන ශක්තිමත් නොවන බැවින් ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිරීති සකස්වෙමින් ඇති නිසා ගතවන කාලය හා රටේ ආර්ථික තත්ත්වය සළකා බලා එම නීතිය ශක්තිමත් කිරීම උදෙසා හදිසි නීති රෙගුලාසි පැනවූ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

හදිසි නීතිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ අහාර සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පාලනය කර ගැනීම හදිසි නීති ගෙන ඒමේ අරමුණ වී ඇති බව අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේය.


පාරිභෝගික ආරක්ෂක පනත යටතේ තිබෙන යම් යම් විධිවිධාන ශක්තිමත් නොවන අතර එම විධිවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිරීති සකස්වෙමින් තිබේ.

එහෙත් ඒ සඳහා යම් කලක් ගත වීමේ ඉඩකඩක් ඇති බැවින් නීතිපතිවරයාගේ අනුමැතිය මෙන්ම, ඒවා අධිකරණයේ දී අභියෝගවලට ලක්කරන කාල සිමාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සමමත කරගැනීමට යම් කාලයක් ගතවේ.

එම කාල සීමාවන් සළකා බලා එම නෛතික රාමුව ශක්තිමත් වන තෙක් අහාර සම්බන්ධව සහ වර්තමාන සමාජ තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම හදිසි නීතිය පනවා තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කර සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මෙරට උද්ඝෝෂණ රාශියක් සිදු වුන අතර කොරෝනා දරුණු අවධියේ දී උද්ඝෝෂණ පැවතුණ බව සඳහන් කළ අමාත්‍යවරයා, උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත ස්ථානයක් ලබා දුන්නා මිස එකඳු ජල ප්‍රහාරයක් හෝ බැටන් ප්‍රහාරයක් වත් එල්ල කිරීමට රජය විසින් කටයුතු නොකළ බව ද සිහිපත් කර සිටියේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, මෙරට තුළ භාෂණයේ නිදහස, උද්ඝෝෂණයේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු සියලුම දේ ආරක්ෂා වන අතරම, ජනතාවගෙන් අසාධාරණ ලෙස ගසා කන යම් යම් වෙළඳ කොටස් පිළබඳව ජනතාව තුළ විරෝධයක් පැන නැඟී තිබෙන අතරම ජනතාව අතර රජයක් පිළිබඳව යම් වික්ෂිප්තභාවයක් ද ඇති ව තිබෙන හෙයින් මෙම කාර්යය සිදු කරන ලද බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Exit mobile version