සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් එක් වේ… අරමුණ හොඳ සෞඛ්‍ය සේවයක් ලු….

ශ්‍රියානි විජේසිංහ –                               

ජනතාවට හොඳ සෞඛ්‍ය  සේවාවක් ලබා දිම, සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයන් ලබා ගැනීම හා සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය යෝජනාවන් හා අදහස් ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පහළොවකට අධික  ගණනාවක් ඒකරාශී  වී  සෞඛ්‍ය  වෘත්ති සමිති  ඒකාබද්ධ සංසදය  ආරම්භ කර ඇත.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) නාරාහේන්පිට අභයාරාමයේදී  මෙම බලමණ්ඩලය පිහිට වූ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති   රවී කුමුදේශ්   සඳහන් කරයි.

මේ වන විට රටතුළ ශක්තිමත් පාලන රටාවක් සහිත සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන යාමට හැකි නම් ලෝකයේ තිබෙන දියුණුම සෞඛ්‍ය සේවාවක් බවට පත් කළ හැකි වනු ඇතැයි මෙහිදී වෘත්තීය සමිති නායකයින්ගේ අදහස වූ බව කුමුදේශ්   සඳහන් කරයි.


රට තුළ මෙතෙක් කලක් ශක්තිමත් පරිපාලනයක් නොතිබූ බැවින් සෞඛ්‍ය සේවාවේ කඩාවැටීම් සිදු වූ බවත් ඒ හේතුවෙන් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට නොහැකි වූ බවත් හෙතෙම පෙන්වාදේ.

මනා පරිපාලනයක් සෞඛ්‍ය සේවාව තුළ ඇති කිරීමට නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම තනතුරු ස්වාධීන කාර්යක්ෂම  පුද්ගලයින්ට ලබා දිය යුතු බවත් එය නිවැරදි ක්‍රමවේදය හරහා ලබා දිය යුතු බවත්  මෙහිදී වෘත්තීය සමිති නායකයින් අවධාරණය කළ බව කුමුදේශ්   පැවසීය.

මෙම තනතුරු සඳහා දේශපාලන හෝ වෙනත් පාර්ශ්වයකගේ බලපෑම මත පත් වන්නේ නම් ඔවුන් තමන්ට හිතෛශී පාර්ශ්ව සඳහා වැඩි උනන්දුවකින්  කටයුතු කරන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවාව තුළ අර්බුද හට ගන්නා  බවත් පෙන්වා දෙන සංසදය එමගින් රටේ පොදු ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා ගෑනීමට නොහැකි වන බවද පෙන්වාදේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version