සුරා බද්දන්ගේ දූෂණ නිසා වාර්ෂිකව මත්පැන් බද්දෙන් බිලියන 130ක් ආණ්ඩුවට අහිමි වෙනවා… මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය  

සුරාබදු දෙපාර්තමේන්තුවේ   නිලධාරීන්ගේ දූෂණ හේතුවෙන් වාර්ෂිකව රජයට රුපියල් බිලියන එකසිය තිහක් අහිමි වන බව මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය පවසයි.

මත්පැන්  වෙළඳාමෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 300ක බදු ආදායමක් ලැබීමට හැකියාව තිබියදී මේ වෙනවිට රජයට ලැබෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 170 කට ආසන්න බදු ආදායමක් පමණක් බව ද  සංගමය අවධාරණය කරයි

ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860 ක් වූ අතර මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක්   බවද සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා වල සඳහන්වේ.

ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදී ( 2023) 12.2 කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන් බව එම සංගමය පවසයි.


රජයට හිමිවිය යුතු සුරාබදු නිසි ක්‍රමවේද මත අයකර නොගැනීම මත ඉලක්කගත බදු ආදායම රජයට හිමි නොවන බව ද ඔවුහු පෙන්වා දෙති.

මත්පැන් බෝතලයක නිෂ්පාදන  මිල රුපියල් 294ක් වුවද එහි උපරිම සිල්ලර මිල රුපියල් දෙදහස් තුන්සිය හතළිහක් බවත් ඉන් වැඩි මුදලක් බදු ආදායමට රජයට අය විය යුතු වුවද එය නෛතික නොවන මාර්ග ඔස්සේ කූට ව්‍යාපාරිකයන් අතට හිමිවන බවත් එම සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ පවසයි.

දැන් බෝතලයක මිල ඉහළ යාම මත මත්පැන් වෙළඳාම සැලකිය යුතු මට්ටමින් පහත  ඇති අතර බහුතරයක් පිරිස නීත්‍යානුකූල නොවන නීති විරෝධී මත්පැන් භාවිතයට හුරු වී ඇති බවද හෙතෙම පවසයි.

මත්පැන් මත අයකරන බද්ද සියයට 20කින් ඉහළ නැංවූවද සමස්ථ සුරාබදු ආදායම පහළ වැටී ඇත්තේ නීත්‍යානුකූල මත්පැන් අලෙවිය පහත වැටී ඇති හෙයින් බව ද ඔවුහු කියති.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාව සඳහා මත්පැන් බලපත්‍ර ලාභින්ගෙ සංගමයේ සභාපති අජිත් උඩුගම ලේකම් චමින්ද කුරුප්පුආරච්චි ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ, මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු ද්‍රවිඩ මාධ්‍ය ප්‍රකාශක ටී ධර්මේන්ද්‍ර රාජ්, එම සංගමයෙන් මාතර සභාපති සුපුන් අභයකෝන් සහ ගයාන් නවරත්න සහභාගී වූහ.

Exit mobile version