සීල් තබා ඇති මහනුවර මානව හිමිකම් කාර්යාලය හෙට විවෘත නොකළහොත් එය ඉදිරිපිට මාරක උපවාසයක් කරනවා…

මහනුවර මානවහිමිකකම් කාර්යාලයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිණිය අනතුරු අඟවයි...

මතුව තිබෙන අභ්‍යන්තර  අර්බුදයක්  හේතුවෙන් සීල් තබා ඇති  මහනුවර දිස්ත්‍රික් මානව හිමිකම් කාර්යාලය හෙට (06) විවෘත නොකළහොත්  කාර්යාලය  ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ කුමුදුනී විතාන පවසයි.

මෙම අර්බුදය ඇති වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී තනතුර සඳහා දෙදෙනෙකු හිමිකම් කීම  හේතුවෙනි.

කුමුදුනී විතාන මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස වසර 08 ක කාලයක් කටයුතු කරමින් සිටියාය.  ඒ අතර  ඇය කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුකර ඒ වෙනුවට විරංජන් ඩයස් සුමන්සේකර මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් අප්‍රේල් මස 03 දින නුවර කාර්යාලය වෙත පත් කරනු ලැබ තිබිණි.

අදාළ පත් කිරීම නීති විරෝධී බව පවසමින් කුමුදුනී විතාන මාරුව ප්‍රතික්ෂේප කරමින් අදාළ තනතුරේ දිගටම රැදී සිටියාය.


කොමිෂන් සභාවේ සාමාජිකයින් ගේ කිසිදු අනුදැනුමකින් තොරව අදාළ පත් කිරීම සිදුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ අභියාචනා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ සභාපතිනිය හා ලේකම්වරයා ඇතුළු පිරිස සේවය අත්හැර ගියා සේ සලකා තමන්ට මැයි 04 දින ලිපියක් යොමුකර තිබෙන බවත් කුමුදුනී විතාන කීවාය.

කොමිෂන් සභාවේ ලේකම් රංජිත් උයන්ගොඩ ඇතුළු පිරිසක් පසුගිය 30 දින මහනුවර කාර්යාලයට සීල් තබා එහි තිබූ කැබ් රථය කොළඹ ප්‍රධාන කාර්යාලයට රැගෙන ගිය අතර එදින සිට මේ දක්වා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය පවතින්නේ පොලීස් ආරක්ෂාව යටතේ ය.

මේ වනවිට තමන් ගේ වැටුප් පවා අත්හිටුවා තිබෙන බවත් මෙම අත්තනෝමතික තීරණ නිසා තමන් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් කුමුදුනී විතාන කීවාය.

අර්බුදය හේතුවෙන් පසුගිය 30 දින සිට මහනුවර දිස්ත්‍රික් මානව හිමිකම් කාර්යාලය වසා දමා ඇත. එහි සේවය ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට 1996 අංකය අමතා සේවය ලබා ගන්නා ලෙස දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර දිස්ත්‍රික් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මානව හිමිකම් කොමෂන් සභාව මාසිකව රුපියල්  ලක්ෂ 1 1/2 ක් පමණ මුදලක් ගෙවන අතර සේවක වැටුප් වශයෙන් ලක්ෂ හයකට ආසන්න මුදල් ගෙවන බව ද දැනගන්නට ඇත

Exit mobile version