සියයට 7ක් කොමිස් ගන්න ඩොලර් ණය යෝජනාව ආවේ කොහෙන්දැයි ගම්මන්පිල කියයි

සියයට හතක විශාල කොමිස් මුදලක් අය කරන බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගන්න අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල පිළිබඳ යෝජනාව ආවේ මුදල් අමාත්‍යංශයෙන් බව අද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මුදල් අමාත්‍යංශය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවකින් අනුමැතිය ලද මෙම යෝජනාවට අනුව මෙවැනි ආයතනයකින් අපට විශාල මුදලක් ලැබෙයිද යන්න පිළිබඳව තමන්ටද මෙම කැබිනට් මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන අවස්ථාවේදී අවිශ්වාසයක් පැවතුණු බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අතරතුරදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා දැනට දේශපාලන ක්ෂේත්‍රෙය් කතා බහට ලක්වන ඩොලර් බිලියන 2.5ක් සඳහා ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් හිමිවන බව කියන ණය යෝජනාව ගැන තවදුරටත් පැහැදිළි කළේ මෙසේය.

“ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් බිලියන 3.6ක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණයයි. මේ ඩොලර් ණය සඳහා වාර්ෂිකව 5.5% පොලියක් ගෙවනවා. ඒ අතරේ පසුගිය වසර ගණනාවක් පුරා ඊට වඩා අඩු පොලියට තෙල් සංස්ථාවට ණය ලබා දීමට විවිධ පාර්ශව යෝජනා ඉදිරිපත් කර තිබුණා. මේ යෝජනා නොසලකා හිටියොත් අඩු පොලි ණය ගැනීමට හැකියාව තිබිය දී සංස්ථාව වැඩි පොලියට ණය ලබා ගෙන ජනතාව මත පටවනවා කියන චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රසිද්ධ දැන්වීම් පල කරලා විධිමත් යෝජනා කැඳවීමකින් අඩු පොලි ණය ලබා ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට මම කැබිනට් අවසරය ඉල්ලුවා.


මේ ගැන මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය වුණේ මේ වෙලාවේ ප්‍රසිද්ධ දැන්වීමක් පල කරලා ඩොලර් ණය මේ වගේ දැවැන්ත මුදලක් ගන්න යන විට කවුරුවත් ඉදිරිපත් වුණේ නැතිනම් ආණ්ඩුව විසින් දැනට විදේශවලින් ඩොලර් ණය ගැනීමට දරන උත්සාහයට අවාසි දායක ලෙස බලපාන්න පුළුවන් බවයි. ඒ නිසා අලුතින් යෝජනා කැදවීමක් ප්‍රසිද්ධ දැන්වීමකින් කරන්නේ නැතුව මුදල් අමාත්‍යාංශය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් හරහාමේ වනවිට ලැබී ඇති යෝජනා ඇගයීමකට ලක් කර පිළිගත හැකි යෝජනා තිබේනම් බාරගන්න කියලා මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණා. ඒ නිර්දේශයට තමයි අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලැබුණේ.

ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කළා. ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිළිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයට පෙනුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතරම් දැවැන්ත මුදලක් මෙවැනි ආයතනයක් අපට දේවි කියා මම විශ්වාස කරන්නේ නෑ කියා මම ඇමති මණ්ඩලයටත් දැනුම් දුන්නා. නමුත් මේ යෝජනා නොසලකා හිටියා නම් අපි අඩු පොලියට ණය ලබා ගන්න තිබුණු අවස්ථාව මග හැරියා කියන චෝදනාව එල්ල වෙනවා. මේ ණය මුදල ලැබුනොත් හොදයි. නොලැබුනොත් ඉතින් කරන්න දෙයක් නෑ.“
ඔහු තවදුරටත් එසේ සඳහන් කළේය.

Exit mobile version