සිංහරාජ සංරක්ෂිත ප්‍රදේශය තුන්ගුණයකින් ලොකුවෙයි

මෛත්‍රී නිකුත් කළ ගැසට්ටුව වසරකට පසු එළියට

සිංහරාජයේ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා අලුතින් වනාන්තර එක්කොට පලකරන ලද අංක 2150/31 දරණ 20 නොවැම්බර් 2019 දිනැති ගැසට්ටුව නිකුත් කර තිබේ.

මෙය වසර 30කට ඈත අතීතයේ සිට විවිධ අය විසින් කරන ලද අරගලයක ප්‍රතිපලයක් බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

පරිසර අරගලවලට අයිතිකරුවන් නැති නමුත් මේ ගැසට්ටුව පළකිරීම ගැන හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන ගත් පියවර සහ ඊට දායකත්වය සැපයු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පරිසර යුක්ති කේන්ද්‍රය සිය ස්තූතිය පළ කර ඇත.


මේ පිළිබද ගැසට් පත්‍රයට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබන ලද්දේ ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පසුගිය වසරේ ය.

මෙම ගැසට් පත්‍රය ඊයේ (15) නිකුත් කර තිබීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සමාජ ජාලයට මේ බව සඳහන් කර තිබුණි.

ඔහු තැබූ සම්පූර්ණ සටහන මෙසේය.

“පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම මාගේ ගෞරවය සහ උපහාරය…..

මතු උපදින දරුවන් වෙනුවෙන් මේ උතුම් මිහිතලය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු.

අද දිනය මිහිතලයට ආදරය කරන මා මෙන්ම උතුම් හදවත් ඇති මිනිසුන් සැමට සතුටු විය හැකි දවසකි.

මීට වසරකට ඉහත දි මා ජනාධිපති ධුරයෙන් නික්මයාමට දින කිහිපයකට ප්‍රථම මුළු මහත් විශ්වයේම පැවැත්මට ජීවය ගෙන දුන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ තෙත් සදාහරිත වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන්ගුණයකින් පුළුල් කොට අති විශේෂ ගැසට් නිවේදනයකින් සිංහරාජ අවට වන පද්ධතිය සිංහරාජ වනාන්තරයට එක් කරන ලදී.

හෙක්ටෙයාර් 11000 සීමාවී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 36474.93 ක ප්‍රමාණයකට මා විසින් වැඩි කරන ලදී.මෙම තීරණය උතුම් මාතෘභූමියේ දිවි පැවැත්මටත් මුළු මහත් ලෝකයේ මානව,සත්ව සහ තුරු ලතා ස්වභාව ධර්මයේ පැවැත්ම උදෙසා මා එක සිතින් ගත් තීරණයකි.

මීට වසරකට ඉහතදී මා මෙම විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබුවත් එය මුද්‍රණය ප්‍රමාද වූ හේතුවෙන් ජනතාවට දැකබලා ගැනීමට සහ පරිශීලනය කිරීමට නොහැකිවිය.

එම ප්‍රමාද වීම පිළිබඳව අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග මා දුරකථනයෙන් විමසු අතර හැකි ඉක්මනින් එය ඉටු කර දෙන බව මා වෙතට කාරුණිකව ප්‍රකාශ කරන ලදී.

වසරකට පසු එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි.

අදටත් ලෝව විශාලතම තෙත් සදාහරිත වැසි වනාන්තර 10ය තුළට ඇතුළත් සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කොට එහි ප්‍රමාණය වර්ධනය කිරීමට නිරන්තරයෙන් මා සමග අදහස් බෙදා ගත් සියලුම පරිසරවේදීන්ට සහ පරිසරයට ආදරය කරන දෙස් විදෙස් සියලුම මානව හිතවාදී මිනිසුන්ට මේ මොහොතේ මා ස්තුතිවන්ත වෙමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව පරිසරය වෙනුවෙන් මා අත්සන් තැබූ (මුද්‍රණය කොට නොමැති) තවත් විශේෂ ගැසට් පත්‍ර 65 නුදුරේ දී ජනතාවට දැකබලාගැනීමට ප්‍රසිද්ධ කරනු ඇතැයි මා විශ්වාස කරමි.”

Exit mobile version