සිංහරාජයේ ජලාශ හැදිල්ලට  යුනෙස්කෝව එපා කියයි

හම්බන්තොට දිස්ත්‍රික්කයට ගිං ගඟේ ජලය ලබා ගැනීම සඳහා සිංහරාජය වනාන්තරය තුළ ජලාශයක් ඉදිකිරීමේ යෝජනාවට තමන් විරුද්ධ වූ බවත් මේ තත්ත්වය මේ වනවිට රජය අවබෝධ කරගෙන වෙනත් විකල්පයක් වෙත යොමු වී අති බවත් යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකා ජාතික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ  පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සහය දුන් ප්‍රමුඛතම ව්‍යාපාරයවන වියත්මඟ ව්‍යාපාරයේ ද සභාපතිවරයා වන මීගස්වත්තේ  පවසන්නේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ  සහ වාරිමාර්ග ඉංජිනේරුවන් වෙත මෙය කළ නොහැකි කටයුත්තක් බව තමන් විසින් කරන ලද පැහැදිළි කිරීමෙන් පසුව වාරිමාර්ග ඉංජිනේරුවන් සහ රජය මේ වනවිට එම අදහස අතහැර වෙනත් විකල්ප යෝජනා කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.

 ඊයේ (28) ඩේලි මිරර් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආචාර්ය මීගස්වත්තේ මෙසේ පවසා ඇත.


“ සිංහරාජයේ ජලාශයක් ඉදිකරන යෝජනාව කරලියට ආවේ මේ පිළිබඳව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කළ ප්‍රකාශයකින් පසුවයි. වාරිමාර්ග ඉංජිනේරුවන් යෝජනා කර තිබුණේ හම්බන්තොට පවතින ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා සිංහරාජයේ මාදුගැටේ කියන ප්‍රදේශයෙන් ජලාශයක් ඉදිකොට ගිං ගඟ හරස්කොට එයට ජලය ලබාගෙන එම ජලය හම්බන්තොට දක්වා යැවීමටයි. මෙම ඉංජිනේරුවන් මා සමඟ සාකච්ඡා කළා. මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි ඔබ මේ ලෝක උරුම සිංහරජයේ තැනක් තෝරා ගත්තේ කියල. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ දත්ත අනුව ජලය වැඩි ප්‍රමාණයක් රඳවා ගත හැකි හොඳම ස්ථානය මෙම මාදුගැටේ කියල. නමුත් මම ඔවුන්ට පැහැදිලි කළා. මේ වනාන්තරය ස්වාභාවික ලෝක උරුමයක් බව. මෙවැනි ඉදිකිරීමකින් මේ වනාන්තරයට හානි සිදුවන බව.

යුනෙස්කෝ ප්‍රකාශයට පත් කළ ස්වාභාවික ලෝක උරුමයකට අත තියන්න තනි රජයකට හෝ පුද්ගලයකුට බෑ. ඒ සඳහා නිසි අවසරයක්  ලබා ගත යුතුයි. මම ඔවුන්ට පැහැදිලි කළා. මෙම ව්‍යාපෘතියට කිසිසේත් යුනෙස්කෝ සංවිධානය අනුමැතියක් ලබා නොදෙනු ඇති බව. ඒ බව පැහැදිළි කළාම මෙම ඉංජිනේරුවන් වගේම රජයත් අදාළ යෝජනාව ඉවත් කර ගත්තා. ඔවුන් විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කළා.“යයි සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙතෙක් සිංහරාජ ලෝක උරුමයට කිසිදු බලපෑමක් ඇති නොවූ බවද හෙතෙම පුවත්පතට අවධාරණය කර තිබුණි.

Exit mobile version