ස්මාර්ට් වෙනවා නම් භානුක වගේ වෙන්න..කොවිඩ් කාලයේ වස විසනැතිව බිම අස්වද්දන රත්තරන් පුතාගෙ කතාව…

ලලිත් චාමින්ද –

භානුක මන්දුනු පුතාට තවම අවුරුදු 15කි.  භානුක පුතා ඉන්නේ වළහන්දුව ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් පින්නදුව පීල්ල හන්දියේය. භානුක පුතා ගැන අපට කතා කරන්නට නිමිති සපයන්නේ මේ පොඩි කොල්ලා ලෝකයට පෙන්වන අපූරු ආදර්ශයක් නිමිත කරගෙනය.

මේ කොවිඩ් කාලයේ එළියට පහලියට බහින්නට බැරි වටපිටාවක දී මේ කොලු පැටියා හිතේ තරම රටට පෙන්නුවේය. ඒ කාබනික පොහොර හදාගෙන මහා සරුසාර වගාවක් කිරීමට මුල පුරමිනි.

භානුක කාබනික පොහොර හදමින්…

වැඩේට භානුක පුතාට උදව් කරන්නේ පුතාලගේ තාත්තාය. 


භාණුක පුතා   පින්නදුව ජයන්ති මහාවිද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම   ලබන්නේය.  කොවිඩ් වසංගතයත් සමග පාසල් වසා දැමිම නිසා ඔහු කොරටු වගාවට යොමු වී තිබුණේ මානසික  සතුට වෙනුවෙනි.  

ඉගෙනිමට ද දක්ෂ සිසුවකු වන භානුක මන්දුනු අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර   කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේය. තාත්තා ඔහුට උදවු කළේය. 

මන්දික තාත්තාගේත් උදවු ඇතිව පටන් ගත් කොරටුවේ තරම රුඩ් තුනකි   මෙම කොරටුවේ  පළා වර්ග, බණ්ඩක්කා, පිපිඤ්ඤා, මිරිස්, පතෝල ඇතුළු එළවළු වර්ග වගාකොට ඇත්තේය. කොරටුවේ වගාකරණ සියලු වගාවන් සදහා  කාබනික පොහොර පමණක් යොදා ගනු ලබන අතර  මෙවර කන්නයේ දි ඉතා සරු අස්වැන්නක් ලබාගෙන තිබෙන්නේය.

වගාව…

කොල්ලාගේ වැඩ සුපිරිය. කොරටුව තුළ කාබනික පොහොර නිෂ්පාදන ඒකක දෙකක් ස්ථාපිත කොට ඇත. වගාවට කෘමින්ගෙන්වන හානි වලක්වා ගැනීම සදහා  පරිසර හිතකාමි උපක්‍රම යොදගෙන තිබේ. කෘමින් ඇල්ලිම සදහා උගුලක්ද කොරටුව තුළ තබා ඇත.  

“කොරෝනා වසංගතය නිසා පාසල් වසාදමලා තියෙන්නේ. මට මාර්ගගත අධ්‍යාපන කටයුතුවල නිරතවන්න  ස්මාට් ෆෝන් එකක් නැහැ. නමුත් පාසලෙන් දෙන  ප්‍රශ්නපත්‍ර ගෙනත් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. අපේ පවුල නඩත්තු කරන්නේ තාත්තා ගොවිතැන් කරලා. තාත්තාට ශක්තියක් වන්න තමයි කාබනික  පොහොර හදලා කොරටු වගාව සදහා යොමුවුනේ. අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරේ තමයි කොරටු වගාවත් කරගෙන යන්නේ. මට මල්ලිත් උදව් කරනවා. “ භානුක අපට කීවේය.

භානුක ගේ තාත්තා එස්.එච් යසපාල (41)   වළහන්දුව ගොවිජනසේවා මධ්‍යස්ථානයේ  සුළුපරිමාන කාබනික පොහොර නිෂ්පාදකයෙකු ලෙස ලියාපදිංචි වී ඇත. ඒ භානුක දුන් දිරියත් එක්කය.

අස්වැන්න

දැන් වළහන්දුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරි එස්.ඒ.එම් ශ්‍යාමලි ගේ උපදෙස් හා මගපෙන්විම මත පින්නදුව ග්‍රාම නිලධාරි වසමේ  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි  මිතිලා ලලන්ති   විසින් යසපාල  කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දිරිමත් කරමින් සිටී. 

රත්තරන් පුත්තු එහෙම පහළ වන්නේ නැත. භානුක කලාතුරකින්  දකින්නට ලැබෙන රත්තරන් පුතෙකි. කොල්ලාට ස්මාර්ට් ෆෝන් එකක් නැත. ඒත් කොල්ලා ස්මාර්ට්ය. මේ අස්වැන්න නෙලා ගත් පසු ඔහු ස්මාර්ට් ෆෝන් එක්ක ගනු ඇත.

මේ රටේ පොඩි උන්ට අපට කියන්නට යමක් තිබේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුතේ… ස්මාර්ට් වෙනවා නම් භානුක වගේ වෙන්න…

Exit mobile version