ස්කොට්ලන්ත පොලිසියෙන් අපේ පොලිසියට පොල්ලක් !

ස්කොට්ලන්ත පොලිසිය ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා දෙනු ලබන පුහුණු වැඩසටහනක් නවතා දමා ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

මෙම ස්කොට්ලන්ත පොලිසිය අපරාධ විමර්ශනයේ විශේෂ ප්‍රවීණතාවක් දක්වන ආයතනයක් ලෙස ප්‍රසිද්ධය.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය දේශපාලන කරලියේ පවතින විවේචන මෙම තීරණයට හේතු වී ඇති බව සඳහන් වේ.


ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පොලිසිය පුහුණු කරන මෙම වැඩසටහන 2023 වසර දක්වා නිලධාරීන් පුහුණු කිරීමට අදාළ ගිවිසුම් පසුගිය ජනවාරියේ දී යාවත්කාලීන වුවද බ්‍රිතාන්‍යයෙන් එල්ල වී ඇති මෙම විරෝධය හමුවේ එම පුහුණු වැඩසටහන නතර වී ඇති බව වාර්තා වේ.

ද සන්ඩේ ටයිම්ස් පුවත් වාර්තා කරන ආකාරයට Human rights watch සංවිධානය පසුගියදා ස්කොට්ලන්ත ජාතික බලකායට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වගකීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කරන තෙක් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය නවත්වන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගතය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලීසිය මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධ කටයුතු කිහිපයකටම මැදිහත් වී ඇති බවත් විශේෂයෙන් නිත්‍යානුකූල නොවන අයුක්තිසහගතව සිදුවන මරණ, හිංසා කිරීම සහ අනවශ්‍ය ලෙස රඳවා තබා ගැනීම් සිදුකරන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කර ඇත.

කෙසේ වුවද ඔය සම්බන්ධයෙන් තමන් මෙතෙක් කිසිවක් නොදන්නා බව පොලිසිය විෂය භාර, මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ ස්කොට්ලන්ත පොලීසිය තමන්ට එරෙහිව එවැනි චෝදනාවක් නගන්නේ කෙසේද පිළිබඳ තමාට ප්‍රශ්නයක් බවයි.

ඔවුන් අඩුම තරමින් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ සිදුකර තිබේද යන්න පිළිබඳව ද ඔහු විමතිය පළ කර ඇත.

එසේම ස්කොට්ලන්ත පොලීසිය එවැනි පියවරක් ගත්තේ නම් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත්තේ තමන් ද මෙම ව්‍යාපෘතිය නවතා ඇති බවට මෙතෙක් නොදන්නා බව ය.

Exit mobile version