සජිත් මෝටර් සයිකල් ඉල්ලයි

(ස්ථාවර නියෝග 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නය)

මෝටර් බයිසිකලය යනු සාමාන්‍ය පවුල්වල සාමාජිකයින් විසින් තම එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගනු ලබන ජනප්‍රියතම වාහනය වන අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ද බහුලව තම ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනයයි.

එසේම, රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින් විසින්ද සේවා ස්ථානයට යාමට හා නැවත නිවෙස් බලා එ්මට මෝටර් බයිසිකල් භාවිත කරනු ලබයි. එපමණක් නොව, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ආහාර හා වෙනත් පාරිභෝගික භාණ්ඩ නිවෙස් වෙත බෙදා හැරීමේ ව්‍යාපාර සඳහාද යොදා ගනු ලබන්නේ මෝටර් බයිසිකලයයි. ඒ අනුව, කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ග්‍රාමීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා වැදගත් මෙවලමක් වශයෙන්ද මෝටර් බයිසිකලය හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත.

02. කෙසේ වුවද, වර්තමානයේ මෝටර් බයිසිකල් ආනයනය සඳහා පනවා ඇති තනහම හේතුවෙන් ග්‍රාමීය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින්ද දැඩි අපහසුතාවයකට පත් වී සිටිති. එසේම, මෝටර් බයිසිකල් අලෙවිය තම ජීවනෝපාය කොට ගත් අලෙවි නියෝජිත ආයතන හිමිකරුවන් හා එම ආයතනවල සේවය කරනු ලබන සේවකයින් ද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. තවද, මෝටර් බයිසිකල් ආනයනය කරන ලද සමාගම් විශාල ප්‍රමාණයක්ද තම සේවකයින්ට පඩි නඩි ගෙවීමේ අපහසුතාවන්ට මුහුණ පා ඇත. මේ හේතුවෙන් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත.


03. මීට අමතරව රජයට සැළකිය යුතු බදු ආදායමක්ද අහිමි වන අතර බැංකු හා මූල්‍ය සමාගම්වලටද මෙමගින් ඉතා අහිතකර බලපෑමක් එල්ල කරනු ලබයි. මෙම ආනයන තහනම ක්‍රියාත්මක කිරීමේ හේතුව විදේශ විනිමය පිටතට ගලා යෑම වැලැක්වීම බව රජය නියෝජනය කරන ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද, ආනයන කාලසීමාවන් සැලකීමේදී ණයවර ලිපි නිකුත් කිරීමෙන් අනතුරුව මුදල් පිටතට යන්නේ අවම වශයෙන් මාස 06 ක කාලසීමාවකට පසුව බැවින් හැකි ඉක්මනින් මෙම තහනම ඉවත් කිරීමේ කිසිදු බාධාවක් නිරීක්‍ෂණය නොවේ. එසේම, මෙම ආනයන තහනම ඉවත් නොකරන්නේ නම් දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් පැවතිය යුතු නමුත් එවැනි කිසිදු වැඩපිළිවෙලක්ද මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැත.

04. මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් වශයෙන් සලකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා තහනමක් පැනවීමට හේතු වූ කරුණු මොනවාද? එම තහනම වහාම ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

2) මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම හේතුවෙන් සමාන්‍ය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ද, ආනයන සමාගම් සේවකයින්ද, අලෙවි නියෝජිතයින් හා ඔවුන්ගේ යැපෙන්නන්ද අන්ත අසරණභාවයට පත්ව ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


3) දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් රජය සතුව තිබේද? එසේ නම් ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

Exit mobile version