සංගක්කාර හෙට ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයට කැඳවයි

kumar-sangkkara

කුමාර් සංගක්කාර

සදෙව් රත්නායක –

2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට පාවාදුන් බවට චෝදනා කරමින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව හිටපු ක්‍රීඩකයන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර හෙට  ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

හෙට පෙරවරු 9.00ට සංගක්කාර කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණීමට නියමිතව ඇත. මෙම විමර්ශන කටයුතු සඳහා එවකට ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම  ඉතා වැදගත් බව එම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා  ප්‍රකාශ කළේය.

ඊයේ පෙරවරුවේ 2011 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංගගෙන් පැය තුනකට ආසන්න කාලයක් සාක්ෂි ලබාගත් අතර ඔහුගේ සාක්ෂිය විශ්ලේෂණය කිරිමෙන් පසුව ඉදිරියේදී සාක්ෂි දීමට කැඳවනු ලබන ක්‍රීඩකයන් තීරණය කිරිමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ පැමිණිල්ලට අදාළව එවකට හිටපු තේරීම් කමිටු ප්‍රධානි අරවින්ද ද සිල්වා ඊයේ පැය 6ක කාලයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්ෂි ලබා දුන්නේය. 

Exit mobile version