ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධව බොරැල්ල සෝකෝ නිලධාරීන් විසින් ලබා ගත් වීඩියෝ දර්ශන හා සියලු ඡායාරූප වහාම විද්මත් වෛද්‍ය කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
ෂාෆ්ටර් සිය දිවි හානි කරගත්තා ද නැතිනම් ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පවත්වන විමර්ශන සඳහා අදාල නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට මෙසේ නියෝග කෙරිනි.
ගාල්ල කරාපිටිය රෝහලේ දි පැවැත්වූ දිනේෂ් ෂාෆ්ටර්ගෙ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ කටයුතු අවසන් කර ඇති බවත් මරණය සම්බන්ධ අවසන් නිගමනයක් ලබා ගැනීම සඳහා විද්වත් මණ්ඩලය දෙදින සාකච්ඡා වටයක් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්වූ අතර තවත් තෙදිනක සාකච්ඡාවක් නුවර පැවැත්වූ බවත් අධිකරණයේ දි කරුණු වාර්තා විය.
නඩුව ඊයේ (22) නැවත කැඳවූ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ මවගේ ලේ සාම්ලයට අදාළ ජින්ටෙක් වාර්තා ලැබී ඇති බව සඳහන් කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆ්ටර්ගේ මරණය සිදුවීමට පෙර මාස හයක් ඇතුළත ලබා ගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවන් අධිකරණය වෙත ගොනු කළේය.