ශ්‍රී ලංකාවේ සූර්යබල ව්‍යාපෘති වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක්

සූර්ය බල ක්ෂේත්‍රයේ ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ප්‍රදානය කරමින් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව අතර අද දින ගිවිසුමක් අත්සන් තබා තිබේ.

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාලීම අරමුණ බව මෑතකදී නිමා වූ ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එම දැක්ම යථාර්ථයක් කරමින් ඒ සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගත් පළමු රට බවට ඉන්දියාව පත් වී ඇතැයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය.

ඇමරිකානු ඩොලර් මිලියන 100ක මෙම ණය පහසුකම 2018 මාර්තු මාසයේ පැවති ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ සමාරම්භක සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘතීන් ඇතුළු නිවාස සහ රජයේ ගොඩනැගිලි මත සූර්ය පැනල පද්ධතීන් සවි කිරීම වැනි ශ්‍රී ලංකාවේ සූර්ය බල ක්ෂේත්‍රයේ විවිධ ව්‍යාපෘතීන් සඳහා අරමුදල් සපයනු ඇත.

සූර්ය බලය මහා පරිමාණයෙන් යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමට සහ තාක්ෂණය, අරමුදල් සපයා ගැනීම සහ ධාරිතාවය යනාදිය සම්බන්ධයෙන් වන අභියෝග ජයගැනීමට රටවල් එකට එක් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධව එළිදක්වන ලද ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ ගිවිසුම් රාමුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 89ක් අත්සන් තබා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්තුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සූර්ය බල ක්ෂේත්‍රය සඳහා සම්පාදනය කර ඇති ජාතික අරමුණු අතර පවතින විශ්මයජනක සමානතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

පසුගිය වසර 7 තුළ ඉන්දියාවේ සූර්ය බලශක්ති උත්පාදනය 2014 මාර්තු මාසයේ වාර්තා වූ ගිගා වොට් 2.6 පමණ සිට 2021 වන විට ගිගා වොට් 34.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙය ගිගා වොට් 100ක් හා ඉන් ඔබ්බට තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දියාවේ ජාතික සූර්ය බල මෙහෙයුම ඉලක්කය කරයි.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ දෙරට විසින් බෙදා ගනු ලබන දැක්ම විසින් පිළිඹිබු වන්නේ අපගේ පොදු ප්‍රමුඛතාවයන් සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රවේශයන්හි පවතින ඒකාත්මික භාවය බව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වැදගත් අංශය තුළ සහයෝගීතාවය ශක්තිමත් කිරීම අපගේ සමස්ත බලශක්ති සහයෝගිතාවය ඉහළ නැංවීමට ඉවහල් වනු ඇති අතර දේශගුණික විපර්යාස සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා අපගේ ගෝලීය ප්‍රයත්නයන්ට ද දායක වනු ඇත.

Exit mobile version