ශෂිකලා රවිරාජ් ටී.එන්.ඒ ට එරෙහිව රවිරාජ් පිළිරුව ලඟ විරෝධතාවයේ…

ටි.එන්.ඒ මන්ත්‍රීවරු තුන්දෙනෙක් මැර තර්ජනය කළා... චන්ද ගණන් කරන මධ්‍යස්ථානයේ දී ගහලා පැන්නුවා...

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හා මෙවර මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කරණ ලද ශෂිකලා රවිරාජ්   අතර ඇතිවී තිබෙන විරසකභාවය යළි උත්සන්න වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ  මන්ත්‍රීවරුන්ට හා නායකයාට එරෙහිව සෂිකලා රවිරාජ්ගේ ඥාතීන් පිරිසක් යාපනයේ පිහිටි රවිරාජ් ප්‍රතිමාව ඉදිරිපිට 8 දා සිට ආරම්භ කොට තිබෙන  විරෝධතාවයත් සමගම ඇය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා නායකයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වන්නට පටන් ගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නඩරාජා රවිරාජ්   ඝාතනයට ලක්වීමෙන් පසුව ඔහුගේ බිරිය නිහඩ ජීවිතයක් ගත කළ අතර ඇයව මෙවර  දෙමළ ජාතික සන්ධානය හරහා මහ මැතිවරණයට ඉදිරිපත් කරවීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබුණි.


දේශපාලන පිටියේ ඇය ඉතා ජන්ප්‍රිය චරිතයක් බවට පත්වීමත් සමගම ඇය මන්ත්‍රීවරියක් විම වැළැක්වීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ මන්ත්‍රීවරු තුන්දෙනෙකු කටයුතු කළ බවත් ඊට දෙමළ ජාතික සන්ධානයේ නායකයාගේද සහය ලැබුණු බවත් සෂිකලා රවිරාජ් හා ඇයගේ පවුලේ උදවිය කියා සිටියි.

යාපනයේ ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයට ඇය ගිය අවස්ථාවේදී මධ්‍යම රාත්‍රිය වන විට ඇය යාපනයෙන් දෙවන ස්ථානයට මනාප විශාල සංඛ්‍යාවක් ලබා ගෙන සිටි බවත් මේ අවස්ථාවේදී එතැනට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තුන් දෙනෙකු තමාට තර්ජනය කොට විශාල ආරවුලක් නිර්මාණය කිරීම නිසා ඇයටත් ඇගේ දියණියන් ඇතුලු පිරිසටත් එම මන්ත්‍රී වරුන්ගේ ආධාරකරුවන් පහර දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් එලවා දැමූ බවත් ඇය සඳහන් කරයි.

තමාව ඒ අවස්ථාවේදී පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ බේරාගෙන නිවසට යැවූ බව පවසන සෂිකලා රවිරාජ් දෙමළ ජාතික සන්ධානය තමන්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කරණ ලද්දේ  මියගිය රවිරාජ් වූ තම සැමියා කෙරෙහි වූ භක්තියකින් නොව දෙමළ ජාතික සන්ධානයේ  නාමයෝජනා ලයිස්තුවේ කාන්තා නියෝජනය සපුරා ගැනිමට බවද  සඳහන් කළාය.

නමුත් මැතිවරණය ආසන්නවීමත් සමගම උතුරේ කාන්තාවන් තමන් වටා එකතු වී තමන්ට විශාල සහයක් ලබා දීම නිසා දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වූයේ කෙසේ හෝ තමා මන්ත්‍රීධූරයකට පත්වීම වැළැක්වීමට බව කී සශිකලා මහත්මිය ඔවුන්  මේ වන විට ඒ දේ සිදු කොට ඇතැයිද  කියා සිටියාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ට සිදු වූ මේ අසාධාරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව දිගටම විරෝධය පල කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version