වේල්ල වීදියට මළ සිරුර ගෙනා බුත්තල එස් අයි දිවි නසා ගනී

වේල්ල වීදියේ ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර බුත්තල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයකු විසින් ගෙන එන ලද බවත් එය සිය අනියම් බිරියගේ සිරුර බවත්  පොලිස් විමර්ශනවලින් අනාවරණය වූූයේය.  මෙම සැකකාර පොලිස් නිලධාරියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් මිදී සිය දිවි නසාගෙන තිබිණි.  අද අලුයම බඩල්කුඹුර ප්‍රදේශයේදී ඔහුගේ මළ සිරුර හමුවී ඇතැයි පොලිසිය කීවේය.

බදුල්ල බඩල්කුඹුර ප‍්‍රදේශයේ පදිංචිබව කියන මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා 52 හැවිරිදි තිදරු පියෙකි.  ඔහු පිළිබඳව ලද තොරතුරු මත ඔහුගේ නිවස ඊයේ (02) දා සවස පොලිස් කණ්ඩායමක් විසින් වටලනු ලැබූ අවස්ථාවේ සැකකරු නිවසින් පැන අසල කැලෑවක සැඟවී ඇත.  පසුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (02 දා) සවස සිට එම කැලෑ ප‍්‍රදේශය වටලා දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය.  පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර  අද  අලුයම සිය දිවි නසාගත් ඔහුගේ සිරුර පොලිසිය විසින් සොයා ගත්තේය.

විමර්ශනවලට අනුව සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සිය අනියම් බිරිය හංවැල්ල නගරය ආසන්නයේ පිහිටි නවාතැන්පළකදී ඝාතනය කර ඇති බව පෙනී ගොස් තිබේ. ඇගේ හිස කඳින් වෙන්කර ගමන් බෑගයක දමාගෙන ඇති සැකකරු හංවැල්ල සිට පෞද්ගලික බස් රථයකින් පිටකොටුව වේල්ලවීදියට ගෙන ගොස් මඟ දමා ආපසු බුත්තලට ගොස්  ඇත.


ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිලිනි යසෝමා ජයසූරිය
ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිලිනි යසෝමා ජයසූරිය

ලද තොරතුරු මත මෙම උප පොලිස් පරීක්‍ෂකවරයා හංවැල්ල ප‍්‍රදේශයේ නවාතැන්පළක සිටි බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඊයේ (02)   දහවල් එම නවාතැන්පළ පරීක්‍ෂා කරන ලදී.  එහිදී මෙම සැකකරු නවාතැන්පළ වෙත ඔහුගේ නම හැඳුනුම්පත් අංකය ලිපිනය සහ දුරකථන අංකය ලබාදී තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිනි.
නවාතැන්පළේ සේවකයන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ එම සැකකරු ඉකුත් 28 වැනිදා කාන්තාවක් සමඟ මෙහි පැමිණ නවාතැන් ගත් බවයි.

සැකකරු විවාහකයකු වන අතර ඔහුට 18 හැවිරිදි වියෙහි පසුවන පුත‍්‍රයකුද සිටින බව පොලිසිය පවසයි. සැකකරුගේ නිත්‍යානුකූල බිරිය පොලිසියට පවසා ඇත්තේ ඉකුත් 27 දා තම සැමියා නිවසින් පිටවී ගිය බවත් ඊයේ (02) දා අලූයම් කාලයේ ඔහු නැවත නිවසට පැමිණි බවත්ය. සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා බුත්තල පොලිසියේ රාජකාරි සඳහා පැමිණීමට පෙර ඇමැති ආරක්‍ෂක අංශයේ සේවය කළ නිලධාරියෙකි.
ෙකාලයක පටන් ඔහු අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිව ඇත.

ඝාතනයට ලක්වූ තරුණිය කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිලිනි යසෝමා ජයසූරිය නැමැති අවිවාහක කාන්තාවක් වන බවට ඇයගේ පවුලේ ඥාතීන් විසින් මේ වනවිට හඳුනාගනු ලැබ ඇත. ඇය පසුගිය 27 වනිදා කතරගම යන බව පවසා නිවසින් පිටව ඇති බව පවුලේ ඥාතීන් පවසා ඇත.

කලක් ඔහු රත්නපුර ප්‍රදේශයේ රාජකාරී කරන විටදී මෙම තරුණිය සමඟ සබඳතාවක් ඇති කරගෙන තිබේ.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සහ ඔහු තරුණිය ඝාතනය කළ බවට සැක කරන නවාතැන් පොළ පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ ලෙස කළ සෝදිසියකින් පසුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Exit mobile version