වේල්ලවීදිය ඝාතකයා හෙළිවුනේ මෙහෙමයි..

වේල්ලවීදිය ඝාතකයා සම්බන්ධව සියලුම තොරතුරු හෙළි කර ගැනීමට පොලිසියට දැන් හැකි වී තිබේ.

මෙම ඝාතකයා සම්බන්ධ හඹා යෑම මුලින්ම ආරම්භ වන්නේ පිටකොටුවෙනි.  කාන්තා මළසිරුර හමුවීමත්, එම කාන්තා මළසිරුර සහිත බෑගය ගත් ඝාතකයා 143 හංවැල්ල බස් රථයක පැමිණිමත් සම්බන්ධ මූලික තොරතුරු ඔස්සෙ පොලිසිය මුලින්ම පරීක්ෂණ මෙහෙයවීය.

අවධානය යොමු වුනේ ඝාතකයා පැමිණ ඇති හංවැල්ල කොළඹ බස් රථය වෙතය. මුලින්ම පොලිසිය  එම බස්රථය සොයාගෙන එහි රියදුරු හා කොන්දොස්තරවරයා ප්‍රශ්න කිරීමේ දී ඔවුන්ට මේ තැනැත්තා බස් රථය පණගන්වන  විටත් බෑගයක් සමග බස් රථය තුළ සිටි බවට පැහැදිලි මතකයක් තිබිණි.


ඒ ඔස්සේ හංවැල්ලට ගිය පොලිස් කණ්ඩායම මෙම බස්රථය හංවැල්ලෙන් පිටත් වූ වෙලාව ආසන්නයේ අවට වූ සී.සී.ටී.වී කැමරා  සියල්ල නිරීක්ෂණය කළේය. ඒ සී.සී.ටී.වී. කැමරාවල මෙම පුද්ගලයා දැවැන්ත බෑගයක් සමග ත්‍රීවිල් රථයකින් බැසවිත් බස් රථයට ගොඩවෙන ආකාරය සටහන්ව තිබිණි.

පොලිසිය අනතුරුව කරනු ලැබුවේ මෙම පුද්ගලයා පැමිණි ත්‍රීවිල් රථය සොයා ගැනීමය. ත්‍රීවිල් රථයේ රියදුරාට  මෙම පුද්ගලයා හංවැල්ල නවාතැන්පලක සිට බෑගයක් රැගෙන පැමිණ තම රථයට නැගුණු ආකාරය මතක තිබිණි.

පොලිසිය එම නවාතැන්පලට ගොස් එහි සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කළේය. කාන්තාවක් හා පුද්ගලයෙක් නවාතැන්පලට ඇතුළුවන ආකාරයත් එක් අයෙක් පමණක් විශාල බෑගයක් සහිතව ඉන් පිටවන ආකරයත් සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබිණි.

අනතුරුව නවාතැන්පලේ ඇති සටහන් පොතෙන් පැමිණි පුද්ගලයාගේ හා කාන්තාවගේ නම් ලිපින හා ජාතික හැඳුනුම්පත් අංක සොයා ගනු ලැබිණි.  අනතුරුව එම හැඳුනුම්පත් අංකවලට අදාල දුරකථන සංවාදය තොරතුරු ලබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

සියල්ල තහවුරු වූ පසු මුලින්ම පොලිසිය සොයා බැලුවේ කාන්තවාගේ පාර්ශවය පිළිබඳවය. මෙම පුද්ගලයා අවිවාහකයෙක් ලෙස පෙනී සිටිමින් මෙම කාන්තාව  සමග සම්බන්ධයක් ගොඩනගාගෙන තිබූ බවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් වූ ඔහු එම සම්බන්ධය ගොඩනගා ගන්නේ ඔහු රත්නපුර ප්‍රදේශයේ රාජකාරි කරනවිට බවත් හෙලි විය.

කාන්තාවගේ සොයුරෙක් පොලිසියට කීවේ ඇය දින කීපයකට පෙර කතරගම යන බව කියා නිවසින් පිටවුණු බවය. පොලිසිය සැකකාර ඝාතකයා සොයා බුත්තල යන්නේ මේ සියලු තහවුරු කිරීම් සමගිනි. එහිදී පොලිසිය නිවස වටකරන විට නිවසින් පැනගන්නා ඝාතකයා සිය දිවි නසාගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඝාතන සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ සිදුවෙමින් ඇතැයි පොලිසිය කියයි.

Exit mobile version