ලලිත් චාමින්ද –
වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දි වී අස්වනු මිලදි ගැනිම සඳහා ලංකා බැංකුවෙන් ලබාගත් ණය මුදලින් ඉකුත් වර්ෂයේ (2023) සැප්තැම්බර් මස 20 වැනිදින වනවිටත් රුපියල් තිස් හත් කෝටි, විසි හතර ලක්ෂ, අට දහස් හැටහතක මුදලක් ලංකා බැංකුවට (372,408,067) ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
ලංකා බැංකුව විසින් මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 650ක ණය මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදි තිබුණි. මෙම ණය මුදල 2022 සැප්තැම්බර් මස 11 වැනි දින වන විට පියවා අවසන් කළයුතු වූයේය. මෙම ණය මුදල නියමිත දිනට ගෙවා අවසන් කිරීමට නොහැකිවිම නිසා ගෙවීමට සිදුවි ඇති පොළිය හා දඩ මුදල රුපියල් දාසය කෝටි, හතලිස් ලක්ෂ,හතලිස් අට දහස්, හයිසිය හැට හයක් (164,048,666) බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ තුළ ප්‍රමාදවීම නිසා අය කළ දඩ මුදල රුපියල් හැත්තෑ තුන් ලක්ෂ, හතලිස් දෙදහස්, අටසිය පනස් නවයක් (7,342,859) වුයෙන් එම මුදල අනාර්ථික වැයදැරිමක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ලංකා සතොස සහ වෙළද අමාත්‍යංශයෙන් අයවිය යුතු රුපියල් මිලියන 400ක ණය මුදල මගින් මෙම ණය මුදල ගෙවීමට සැලසුම්කොට ඇති බවද වී අලෙවි මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
කෙසේ වෙතත් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා මෙවරත් කෝටි 3000ක ණය මුදලක් රජය මැදිහත්ව වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම වී ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩා නවීකරණය කිරීමට ද කටයුතු කර තිබේ.









